විප්ලවවාදී කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රකාශනය Share Tweetශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවවාදියෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි විසින් 1938දී දක්වා සිටියේ “මනුෂ්‍ය සංහතියේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය ලෙසට ලඝු වී ඇත” යනුවෙනි. මෙම වදන් පෙළ එය ලියූ දිනට මෙන්ම අදටත් සත්‍ය වන අතර අදාළද වේ.21 වැනි සියවසේ තුන්වන දශකය තුළ ධනේශ්වර ක්‍රමය එහි පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ පා ඇත. ඉතිහාසය තුළ මෙවැනි තත්ත්වයන් කිසිසේත්ම අසාමාන්‍ය නොවේ. ඒවා අදාළ ඓතිහාසික සමාජ ක්‍රමය එහි සීමා කරා ලඟා වී ඇති බවත් ඊට තවදුරටත් කිසිම ආකාරයක ප්‍රගතිශීලී භූමිකාවක් ඉටු කිරීමට හැකියාවක් නොමැති බවත් පිළිබඳ ප්‍රකාශනයකි.ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස්වාදී න්‍යාය විසින් අපට මෙම සංසිද්ධිය සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබාදෙයි. සෑම සමාජ ආර්ථික පද්ධතියක්ම යම් යම් හේතු කාරණා මුල්කොටගෙන පැන නගී. එවා වර්ධනය වේ, දියුණුව ලඟාකර ගනියි, පසුව එහි උච්ඡතම අවස්ථාව දක්වා එළඹෙයි; එතැන් සිට එය පරිහානියේ අවධියකට ඇතුල් වේ. වහල් සමාජයට හා රෝම අධිරාජ්‍යයේ පරිහානියට හා බිඳවැටීමට හේතුවූයේද මෙයයි.ධනවාදය තම කාලය තුළ කර්මාන්ත, කෘෂිකර්මාන්තය දියුණු කිරීමටත් විද්‍යාව සහ තාක්‍ෂණය ඊට කලින් සිහිනෙන්වත් නොසිතූ මට්ටමකට ගෙන ඒමටත් සමත් විය. එසේ කරන අතර එය විසින් අවිඥානිකවම අනාගත පන්ති විරහිත සමාජ ක්‍රමයක් සඳහා වන භෞතික පදනම ගොඩනඟනු ලැබීය.නමුත් දැන් මෙය එහි සීමාවන් කරා ළඟා වී ඇති බැවින්, සෑම දෙයක්ම එහි ප්‍රතිවිරුද්ධය බවට හැරෙමින් ඇත. බොහෝ කලකට පෙරම ධනේශ්වර ක්‍රමයේ ඓතිහාසික ශක්‍යතාවය අවසන්ව ඇත. සමාජය තවත් ඉදිරියට ගෙන යාමට නොහැකිව දැන් එය ආපසු හැරීමක් නොමැති තැනකට පැමිණ ඇත.වර්තමාන අර්බුදය ධනවාදයේ ඇති සාමාන්‍ය වාර අර්බුදයක් නොවේ. එය නිෂ්පාදන බලවේග එකතැන පල්වීම මඟින් පමණක් නොව සංස්කෘතිය, සදාචාරය, දේශපාලනය සහ ආගම ආදියේ ඇති පොදු අර්බුදය තුළින්ද ප්‍රකාශ වේ.පරපෝෂිතයන් කිහිප දෙනෙකු අත ඉතා අශිෂ්ඨ අන්දමින් ධනය සංකේන්ද්‍රණය වීමත්, මානව වර්ගයාගේ අති මහත් බහුතරය දරිද්‍රතාවය, අගහිඟකම සහ ඉච්ඡාභංගත්වයේ ගිලීමත් නිසා - ධනවතුන් හා දුප්පතුන් වෙන් කරන අඳුරු අගාධය පෙර නොවූ විරූ අන්දමින් පළල් වී ඇත.මේවා ඉවත්කර දැමීමට තරම් මෝරා කුණු වූ රෝගාතුර සමාජයක් තුළ ප්‍රචන්ඩත්වය ඇති කරන්නාවූ ලක්ෂණ වේ. අවසානයේදී මෙම ක්‍රමයේ බිඳ වැටීම අනිවාර්‍ය වන අතර එය වළකාලිය නොහැකිය. එහෙත් ධනේශ්වරයට අර්බුද ප්‍රමාද කිරීමට හෝ ඒවායේ බලපෑම අවම වශයෙන් යම් ප්‍රමාණයකට සහ තාවකාලික කාලයක් සඳහා අඩු කර ගැනීමට මාධ්‍යයන් නොමැති බවක් ඉන් අදහස් නොකෙරේ.එහෙත් එවැනි පියවරයන් හුදෙක් නව සහ විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතා ඇති කරලයි. 2008 මූල්‍ය අර්බුදය මෙහිලා ප්‍රධාන සන්ධිස්ථානයක් විය. සත්‍යය නම් එම අර්බුදයෙන් අනතුරුව ගෝලීය ධනවාදය කිසිදා යථා තත්ත්වයට නොපැමිණි බවයි.දශක ගණනාවක් තිස්සේ ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන් තර්ක කරමින් සිටියේ ‘අදෘශ්‍යමාන වෙළඳපොල හස්තය’ විසින් සියල්ල විසඳනු ඇති බවත්, ජාතික ආර්ථිකය තුළ ආන්ඩුව කිසිදු කාර්යභාරයක් ඉටු නොකළ යුතු බවත්ය. එහෙත් අර්බුද හමුවේ වෙලඳපොලවල් කඩා වැටුණු අතර ඒවා බේරාගත හැකි වූයේ දැවැන්ත රාජ්‍ය මැදිහත් වීම් මඟින් පමණි. එම අර්බුදය අතරතුර, මහා ව්‍යසනයක් වළක්වා ගැනීම වෙනුවෙන් විශාල මුදල් සම්භාරයක් පද්ධතියට එකතු කිරීමට ආන්ඩුවලට සහ මහ බැංකුවලට බල කෙරුණි.පද්ධතිය රැක ගැනීමට ධනේශ්වරය සමත් වූයේ එය එහි ස්වභාවික සීමාවන්ගෙන් ඔබ්බට තල්ලු කිරීමෙනි. රජයයන්ට තමන් සතුව නොතිබූ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට සිදු විය. මෙම නොසැලකිලිමත් ක්‍රියාවලිය Covid-19 වසංගත කාලය තුළ නැවතත් කිරීමට සිදු විය.කරකියා ගැනීමට දෙයක් නොමැතිව ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ග විසින් නොවැලැක්විය හැකි ලෙසම පාලනයකින් තොරව උද්ධමනය වැඩි වීමටත්, දැවැන්ත රාජ්‍ය, ව්‍යාපාරික සහ පුද්ගලික ණය කන්දරාවක් නිර්මාණය කිරීමටත් හේතු වූ අතර ඒ නිසා රජයන්ට තිරිංග තද කිරීමට සිදු විය. දැන් මුළු ක්‍රියාවලියම ආපසු හැරවිය යුතුය.අසාමාන්‍ය ලෙස අඩු පොලී අනුපාතික සහ ලෙහෙසියෙන් ලබාගත හැකි ණය පහසුකම් ඇති යුගය දැන් අතීතයට අයත් අඳුරු මතකයක් පමණි. අපට ඉක්මනින් පෙර පැවති කාලය වෙත ආපසු පැමිණීමේ හැකියාවක් නැත - ඇතැම්විට කිසි විටෙකවත් එසේ ආපසු පැමිණීමටද නොහැකි වනු ඇත!ගෝලීය ධනේශ්වර ආර්ථිකය මුහුණ පා ඇති අර්බුදයක තරම කිවහොත් එය එක් සාධකයක් අනෙක් සාධකය පෝෂණය කරමින් පහළට වැටෙන සුළියක ස්වභාවයක් අත්කරගෙන ඇත.කිසිදා නිම නොවන යුද්ධ, ආර්ථික බිඳවැටීම් සහ දිනෙන් දින වැඩිවන ඛේදවාචක වලින් පිරුණු අවිනිශ්චිත අනාගතයක් කරා ලෝකය ගමන් කරමින් සිටියි. ධනවත්ම රටවල් තුළදී පවා, අනුකම්පා විරහිතව ඉහළ යන භාණ්ඩ මිල විසින් මාසික වැටුප උදුරා ගැනෙන අතර, රාජ්‍ය වියදම් කප්පාදුව හරහා සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි සමාජ සේවාවන් නිරන්තරයෙන් පරිහානියට පත්වෙයි.මෙම ක්‍රියාපටිපාටිය ඇත්ත වශයෙන්ම කම්කරුවන්ගේ සහ මධ්‍යම පාංතිකයන්ගේ ජීවන තත්ත්වයන්ට එල්ල කරන සෘජු ප්‍රහාරයකි. නමුත් මින් සිදු වන්නේ අර්බුදය තව තවත් ගැඹුරු වීම පමණි. ආර්ථික සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීමට ධනේශ්වරය දරණ සෑම උත්සාහයක් හරහාම සමාජ හා දේශපාලන සමතුලිතතාවය විනාශ කර දැමෙයි. මෙම ධනේශ්වර කොටස් තමන් විසඳුමක් නැති අර්බුදයක සිරවී සිටින බව අවසානයේ තේරුම් ගනියි. වර්තමාන තත්ත්වය අවබෝධ කර ගැනීමට වුවමනා මූලික කරුණ එයයි.කෙසේ වෙතත්, ධනවාදයේ අවසාන අර්බුදයක් කියා දෙයක් නොමැති බව ලෙනින් බොහෝ කලකට පෙර පැහැදිලි කළේය. එය පෙරලා දැමුවහොත් මිස, ධනේශ්වර ක්‍රමය මනුෂ්‍යත්වයට දැරීමට වන පිරිවැය තිබියදී, එහි ගැඹුරුතම අර්බුදයෙන් පවා ගොඩ එනු ඇත.ගෝලීයකරණයේ සීමාවන්ධනේශ්වර අර්බුදවලට ප්‍රධානතම හේතු වන්නේ, එක් අතකින්, නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික හිමිකාරිත්වය සහ, අනෙක් අතට, ධනවාදය විසින් නිර්මාණය කර ඇති නිෂ්පාදන බලවේගයන් රඳවා තබා ගැනීමට කිසිසේත් නොහැකි තරම් පටු, ගෙල සිරකරන තරම් තද හැට්ටයක් ලෙසින් පවතින ජාතික රාජ්‍යයයි.යම් කාලයකට, ‘ගෝලීයකරණය’ නමින් හැඳින්වෙන ප්‍රපංචය විසින් ලෝක වෙළඳාම නංවාලීම සහ ජාත්‍යන්තර ශ්‍රම විභජනය තීව්‍ර කිරීම හරහා ජාතික රාජ්‍යයේ සීමා සහගත බව අර්ධ වශයෙන් ජය ගැනීමට ධනේශ්වරයට ඉඩ ලබා දුනි.යම් කලකට, ‘ගෝලීයකරණය’ ලෙස හැඳින්වෙන සංසිද්ධිය නිසාවෙන් ධනේශ්වර ක්‍රමයට ජාතික රාජ්‍යයේ සීමාවන් අර්ධ වශයෙන් ජය ගැනීමට හැකි වියචීනය, ඉන්දියාව සහ සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු රුසියාව ධනේශ්වර ලෝක වෙලඳපොලට ඒකාබද්ධ කිරීම මගින් මෙය තවත් වේගවත් විය. පසුගිය දශක කිහිපය තුළ ධනේශ්වර ක්‍රමය නොනැසී පැවතීම පිටුපස පැවති එහි ප්‍රධාන උපක්‍රමය එය විය.දැන් මේ මිත්‍යාවන් පිඹින ලද සබන් බුබුලු මෙන් පුපුරා ගොස් ඇත. ගෝලීයකරණය එහි සීමාවන් කරා ළඟා වී ඇති අතර එය ආපසු හැරෙමින් පවතින බව ඉතා පැහැදිලිය. ආර්ථික ජාතිකවාදය සහ ආරක්ෂණවාදී පියවරයන් ගැනීම දැන් ප්‍රමුඛ ප්‍රවනතාවන් වේ - හරියටම කිවහොත්, 1930 ගනන්වල හටගත් ආර්ථික අර්බුදය මහා ආර්ථික අවපාතයක් බවට හැරවූයේද එම ප්‍රවණතා විසිනි.මෙය මෙම අවස්ථාවේ තීරණාත්මක වෙනසක් සනිටුහන් කරයි. එය නොවැලැක්විය හැකි අන්දමින් ජාතීන් අතර දැවැන්ත ලෙස ප්‍රතිවිරෝධතා උග්‍ර කිරීමටත්, යුධ ගැටුම් සහ ආරක්ෂණවාදය ව්‍යාප්ත කිරීමටත් හේතු වී තිබේ.ඇමරිකන් අධිරාජ්‍යවාදය විසින් ‘පළමුව ඇමරිකාව!’යන පාඨය යටතේ ගෙනයන ඝෝෂාකාරී ව්‍යාපාරයෙන් එය ඉතා පැහැදිලිව ප්‍රකාශ වෙයි. ‘පළමුව ඇමරිකාව!’ යන්නෙන් අදහස් කරන්නේ ලෝකයේ සෙසු රටවල් දෙවන, තුන්වන හෝ සිව්වන ස්ථානයට තල්ලු කළ යුතු බව වන අතර, එමඟින් තවත් ප්‍රතිවිරෝධතා ඇති කිරීමත්, යුද්ධ සහ වෙළඳ යුද්ධ ඇති කිරීමත් සිදු කරනු ඇත.නිමක් නැති භීෂණයආර්ථික, මූල්‍ය, සමාජීය, දේශපාලනික, රාජ්‍යතාන්ත්‍රික සහ මිලිටරි යන සෑම ක්ෂේත්‍රයකම පවතින අස්ථාවරත්වය යනු අර්බුදයේ ප්‍රකාශනයකි. දුප්පත් රටවලදී, අධිරාජ්‍යවාදී මූල්‍යායතන හිමියන්ගේ අනුකම්පා විරහිත ග්‍රහණයෙන් මිරිකී සිටින මිලියන ගණනක් ජනතාව සාගින්න විසින් හෙමින් ඇති කරන මරණයට මුහුන දී සිටී.එක්සත් ජාතීන්ගේ සංවිධානය 2023 ජුනි මාසයේදී ඇස්තමේන්තු කළ ආකාරයට යුද්ධය, සාගතය සහ දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් උන්හිටි තැන් දමා යාමට බල කෙරුණු සංඛ්‍යාව මිලියන 110ක් විය - මෙය කොරෝනා වසංගතයට පෙර පැවති සංඛ්‍යා දත්ත වලට සාපේක්ෂ තියුණු වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒ ගාසා යුද්ධයට කලිනි.බලාපොරොත්තු සුන්ව, මෙම භීෂණයෙන් මිදීමට දරන ප්‍රයත්නන්හීදී, විශාල පිරිසක් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය වැනි රටවලට පලා යාමට උත්සාහ කරයි. මධ්‍යධරණී මුහුද හෝ රියෝ ග්‍රෑන්ඩ් (මෙක්සිකෝව හා අමෙරිකා දේශසීමාවේ ඇති ගඟක්) තරණය කරමින් දුෂ්කර හා අනතුරුදායක ගමනක් යන මේ අය අතරමගදී කිව නොහැකි තරම් වන ප්‍රචණ්ඩත්වයන්ට සහ අපයෝජනයන්ට මුහුණ දෙති. මෙම ප්‍රයත්නයේදී සෑම වසරකම දස දහස් ගණනක් දෙනා මිය යති.මේවා ඊනියා නිදහස් වෙළඳපොල ආර්ථිකයේ කොල්ලකාරී බව හා අධිරාජ්‍යවාදය විසින් ගෙනයන ප්‍රචණ්ඩ බව නිසා ඇතිවන සමාජ ආර්ථික බිඳවැටීම් වල භයානක ප්‍රති විපාකයන් වන අතර ඒවා සිතාගත නොහැකි පරිමාණයකින් මරණ, විනාශය හා සංහාරයන් ඇති කරලයි.සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු, ඇමරිකා එක්සත් ජනපදය යම් කාලයක් පුරාවට ලෝකයේ එකම සුපිරි බලවතා බවට පත් විය. දැවැන්ත බලයත් සමඟ දැවැන්ත අහංකාරයක්ද ඇති විය. වොෂින්ටනය අභිමුව දණ නැමීම ප්‍රතික්ෂේප කරන ඕනෑම ජාතියක් යටත් කර ගැනීම සඳහා ආර්ථික බලයේ සහ මිලිටරි බාහුවේ සංකලනය භාවිතා කරමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලෝකයේ සෑම තැනකම සිය බල පරාක්‍රමය පැතිරවීය.බෝල්කන් ප්‍රදේශය සහ අනෙකුත් පැරණි සෝවියට් බලපෑමට නතුව තිබූ ප්‍රදේශ තම බලපෑමට හසු කරගත් ඔවුන්, මිලියනයකට අධික ජනතාවකගේ මරණයට හේතු වූ ඉතාමත් දරුණු සහ අත්තනෝමතික ආක්‍රමණයක් ඉරාකය තුළ දියත් කළේය. ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීම තවත් එබඳු ලේ වැකි කථාංගයක් විය. ඒ අවාසනාවන්ත දේශයේ ජීවිත කීයක් නම් නැති වූයේද යන්න කිසිවකුත් නිශ්චිතව නොදනී.එක්සත් ජනපද අධිරාජ්යවාදයේ ඇඟ සීතල කරවන කෲරත්වය මෙන්ම එහි පිළිකුල් සහගත කුහකකමද ගාසා තීරයේ බිහිසුණු සිදුවීම් මගින් පැහැදිලිවම හෙලිදරව් වියඑහෙත් රුසියාවේ සහ ඉරානයේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානුවන් පරාජයට පත් වූ සිරියානු යුද්ධයේදී එක්සත් ජනපද බල පරාක්‍රමයේ සීමාවන් හෙලිදරව් විය. මෙය පැහැදිලිව එම මොහොතේ අනපේක්ෂිත වෙනසක් පෙන්නුම් කළේය. එතැන් පටන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය එකකට පසු එකක ලෙසින් නින්දා සහගත පසුබෑම් මාලාවකට ලක් විය.මෙම කාරණයම ලෝක පරිමානව ධනවාදයේ ඇති අර්බුදය පිළිබඳව කැපී පෙනෙන සාක්ෂියක් ලෙස දැක්වීමට හැකිය. 19 වැනි සියවසේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ප්‍රමුඛ ලෝක බලවතා වශයෙන් අතිවිශාල ධනස්කන්ධයක් රැස්කරගන්නා ලදී. නමුත් දැන් තත්ත්වය එහි ප්‍රතිවිරුද්ධය දෙක්වා වෙනස් වී ඇත. ධනවාදයේ අර්බුදය සහ ජාතීන් අතර වැඩෙන ආතතීන් ලෝකය වඩාත් කැළඹිලි සහගත සහ භයානක තැනක් බවට පත් කරලයි. සෑම තැනකම පාහේ ගැටළු ඇති වීමත්. හිටපු මිත්‍රයන් විසින්ද දුර්වලකම් ඉව කරමින් මහ එකාට අභියෝග කිරීමට කල්ලි ගැසීමත් නිසා ලෝකයේ ප්‍රධාන පොලිස්කාරයා වීම වඩ වඩාත් සංකීර්ණ හා වියදම් සහගත රැකියාවක් බවට පත්ව ඇත.එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පෘථිවියේ බලවත්ම හා වඩාත්ම ප්‍රතිගාමී බලවේගයයි. එහි මිලිටරි වියදම ඊළඟට වැඩිම රටවල් දහයේ මිලිටරි වියදම්වල එකතුවට සමාන වේ. එහෙත් අද තීරණාත්මක අන්දමින්, ලෝකයේ කිසිදු කලාපයක් තුළ තම අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට ඊට නොහැකි ය.එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හිත් පිත් නැති කෲරත්වය සහ එහි පිළිකුල් සහගත කෛරාටිකකම, ගාසා තීරයේ සිදුවූ බිහිසුණු සිදුවීම් මගින් පැහැදිලිවම හෙලිදරව් විය. එය කෲර ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් අසරණ පිරිමින්, ගැහැනුන් සහ දරුවන්ට එරෙහිව ගෙනගිය කුරිරු සංහාරයේ ක්‍රියාකාරී කොටස්කරුවෙකි.එක්සත් ජනපද පාලක කල්ලියේ සක්‍රීය සහයෝගය නොමැතිව මෙවන් සාපරාධී ආක්‍රමණික යුද්ධයක් එක දිනක්වත් පැවතිය නොහැකිය. එහෙත්, වින්දිතයින්ගේ ඉරනම ගැන කිඹුල් කඳුලු හෙළමින්, වොෂින්ටනය නෙතනියාහුට තම වධකයා ලෙස කටයුතු කිරීම සඳහා ආයුධ සහ මුදල් යැවීම දිගටම කරගෙන ගියේය.එහෙත් වඩාත්ම කැපී පෙනෙන දෙය නම් ඇමරිකානු අවශ්‍යතාවලට ගැලපෙන දේ කිරීමට ඊශ්‍රායලයට බල කිරීමටවත් වොෂින්ටනයට ඇති නොහැකියාවයි. ඔවුන් කොතරම් අමාරුවෙන් නූල් ඇන්දත්, රූකඩය තමාගේම පදයට අනුව නටමින් සංදර්ශනය කරගෙන ගියේය. මෙය මැද පෙරදිග තුළ පමණක් නොව ලෝකය පුරා ඇමරිකානු බලයේ පරිහානිය පිලිබඳ ඉතා උපදේශාත්මක ඇඟවීමක් විය.එක් ජාතියකට අන් ජාතියක් මත ආධිපත්‍යය දැරීමට ඇති හැකියාව නිරපේක්ෂ එකක් නොව සාපේක්ෂ එකකි. තත්ත්වය ස්ථිතික නොව ගතික එකකි. සෑම විටම වෙනස් වන්නකි. ඉතිහාසය පෙන්නුම් කරන්නේ කලින් පසුගාමී සහ පීඩිත ලෙසින් සිටි ජාතීන්ට, තම අසල්වැසියන් දෙසට හැරී ඔවුන්ට එරෙහිව තම ආධිපත්‍යය පතුරුවමින් සහ ඔවුන් සූරාකෑමට උත්සාහ කරන ආක්‍රමණශීලී රාජ්‍යයන් බවට පරිවර්තනය විය හැකි බවයි.අද තුර්කිය මැදපෙරදිග ප්‍රමුඛ බලවතුන්ගෙන් එකකි. එය කලාපීය අධිරාජ්‍යවාදී බලයකි. ඒත් සමඟම, රුසියාව සහ චීනය, ධනේශ්වර මාවතට අවතීර්ණ වී, ගෝලීය ප්‍රවේශයක් සහිත ප්‍රබල අධිරාජ්‍යවාදී බලවතුන් ලෙසට තමන්ව අනාවරණය කරගෙන ඇත. මෙය ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග සෘජු ගැටුමකට මග සලසයි.චීනය සහ රුසියාව තවමත් එක්සත් ජනපදයට සමාන මට්ටමේ ආර්ථික හා මිලිටරි බලයක් ලබාගෙන නැති නමුත්, ඔවුන් වෙලඳපොලවල් සඳහා වන ගෝලීය අරගලයෙදී, බලපෑම් සහිත විවිධ ක්ෂේත්‍රවලදී, අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් සහ ලාභදායී ආයෝජන වෙනුවෙන් වොෂින්ටනයට අභියෝග කරමින් බලවත් ප්‍රතිවාදීන් ලෙසට මතුවී ඇත. යුක්රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බලයේ සීමාවන් පිලිබඳ කදිම සාක්ෂි සපයා ඇත.අතීතයේදී නම්, දැනට පවතින ආතතීන් මහ බලවතුන් අතර විශාල යුද්ධයක් ඇති කිරීමට ප්‍රමාණවත් වනු ඇත. නමුත් වෙනස්වන සාධක හේතුවෙන් -අඩුතරමින් දැනට- එය න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ඇත.ධනපතියන් දේශප්‍රේමය, ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනත් උසස් ප්‍රතිපත්තියක් වෙනුවෙන් යුද්ධ නොකරයි. ඔවුන් යුද්ධ කරන්නේ ලාභය, විදේශීය වෙළඳපොලවල්, (තෙල් වැනි) අමුද්‍රව්‍ය ප්‍රභවයන් අල්ලා ගැනීම සඳහා සහ බලපෑම් සහිත විවිධ ක්ෂේත්‍ර පුළුල් කිරීම සඳහාය.මෙය මුළුමණින්ම නොපැහැදිලිද? එමෙන්ම න්‍යෂ්ටික යුද්ධයක් යනු මේ කිසිවක් නොව දෙපාර්ශ්වයේම අන්‍යෝන්‍ය විනාශය පමණක් බව ඉතාහොඳින්ම පැහැදිලි නොවේද? මෙම අවස්ථාව විස්තර කිරීමට ඔවුන් වාක්‍ය ඛණ්ඩයක් පවා නිර්මාණය කර ඇත: ඒ MAD (Mutually Assured Destruction). අන්‍යෝන්‍ය වශයෙන් කර ගන්නා විනාශයයි.ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් අතර විවෘත යුද්ධයට එරෙහිව පවතින තවත් තීරණාත්මක සාධකයක් වන්නේ, විශේෂයෙන්ම (නමුත් තනිකරම නොවේ) එක්සත් ජනපදය තුල යුද්ධයට එරෙහිව ඇති මහජන විරෝධයයි. මෑතකදී සිදුකළ ජනමත විමසුමකින් පෙන්නුම් කරන්නේ එක්සත් ජනපද ජනගහනයෙන් 5% ක් පමණක් යුක්රේනය තුළ සෘජු මිලිටරි මැදිහත්වීමකට කැමති බවයි.ඉරාකයේදී සහ ඇෆ්ගනිස්ථානයේදී අත්විඳි නින්දිත පරාජයන්, එක්සත් ජනපද ජනතාවගේ විඥානය තුලට කාවැදී ඇති බැවින් මෙය පුදුම විය යුතු කරුණක් නොවේ. මෙය සහ රුසියාව සමග සෘජු මිලිටරි ගැටුමක් කරා යාම න්‍යෂ්ටික යුද්ධයක අවදානම ඇති කරන්නක් වීම නිසා දැඩි සංයමයකින් ක්‍රියා කිරීමට ඔවුනට බල කෙරෙයි.වත්මන් තත්ත්වයන් යටතේ ලෝක යුද්ධයක් සඳහා වන සම්භාවිතාව බැහැර කළද, බොහෝ 'කුඩා' යුද්ධ සහ මෑතකදී යුක්රේනයේ හටගත් යුද්ධය මෙන් වෙන කෙනෙකු යොදා ගනිමින් කරන යුද්ධ දිගින් දිගටම ඇති වනු ඇත. එවැනි යුද්ධවල ගෝලීය බලපෑම සැලකිය යුතු තරම් වනු ඇත. මෙය සාමාන්‍ය ජනයාගේ ව්‍යාකූලත්වයට හේතු වන අතර ලෝකය දවාලන අවුල් ජාලාවේ ගිනිදැල්වලට ඉන්ධන සපයයි. ගාසා තීරයේ සිදුවීම්වලින් ඒ බව මනාව පැහැදිලි වේ.ධනපති ක්‍රමය ඉදිරිපත් කරන අනාගතය වන්නේ මනුෂ්‍ය වර්ගයා සඳහා නිමක් නැති ඛේදවාචක, දුක් වේදනා, රෝගාබාධ, යුද්ධ වලින් පමණක් සමන්විත එකකි. ලෙනින්ගේ වචන වලින් මෙය දැක්වුවහොත්: ධනවාදය යනු නිමක් නැති භීෂණයකි.ධනේශ්වර ප්රජාතන්ත්රවාදයේ අර්බුදයඉදිරි කාල පරිච්ඡේදය තුළ ඇති වීමට නියමිත ආර්ථික තත්ත්වයන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ තත්ත්වයන්ට වඩා 1930 ගණන්වලට බෙහෙවින් සමාන වනු ඇත. එබැවින් ප්‍රශ්නයක් පැන නඟී: පැමිණීමට නියමිත අනාගතය සඳහාත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය නොවෙනස්ව පවතිනු ඇත්ද?ප්‍රජාතන්ත්‍රවාදය යනු ඇත්ත වශයෙන්ම ධනවත් සහ වරප්‍රසාද ලත් ජාතීන් කිහිපයක ඒකාධිකාරය වන අතර එහිදී ඔවුන්ට කම්කරු පන්තියට සහන ලබා දීමෙන් පන්ති සටන තමන්ට පාලනය කරගත හැකි සීමාවන් තුළ තබා ගත හැකිය.එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය වැනි රටවල ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය දශක ගණනාවක් තිස්සේ නොසැලී පවත්වාගෙන යා හැකි වූ භෞතික පදනම මෙයයි. රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්, ටෝරිවාදීන් සහ ලේබර් පාක්ෂිකයන්, ක්‍රමයේ කිසිදු මූලික වෙනසක් සිදු නොකර, මාරුවෙන් මාරුවට බලයට පැමිණියේ එබැවිනි.යතාර්ථයේදී, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් සිනාසෙන වෙස් මුහුණකි - බැංකු හා මහා සමාගම්වල ආඥාදායකත්වය නමැති යතාර්ථය මෙම වෙස්මුහුණ පිටුපස සැඟවී ඇත. පාලක පන්තිය මහජනතාව වෙත සහන ලබා දීමට අපොහොසත් වන විට, මෙකී සිනහ මුසු වෙස්මුහුණ පැත්තකට දමා පිළිකුල් සහගත සැබෑ තත්ත්වය පෙන්නුම් කරනු ඇත. ඒ ප්‍රචණ්ඩත්වයේ සහ බලහත්කාරයේ පාලනයයි. මෙය දැන් දැන් වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී.නිදහස් වෙළඳපොල ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන බව කීයයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය ප්‍රතිවිරුද්ධ දේවල් දෙකකි. ධනේශ්වර ක්‍රමයේ මූලෝපාය සකස් කරන්නන් විසින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්‍යතාව සහ ධනවාදයේම අනාගතය ගැන දැන් එළිපිටම සැක පළ කරති.ඉතාමත් ධනවත් රටවල පවා දරිද්‍රතාවෙන්, විරැකියාවෙන්, නිවාස නොමැතිකමින් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පෙළෙන විශාල ජනතාවක් ඉදිරිපිට අශිෂ්ඨ ලෙස ගොඩගසාගත් තම ධනය සහ සුඛෝපභෝගීත්වය නිර්ලජ්ජිත ලෙස ප්‍රදර්ශනය කරන ධනපතීන් හමුවේ සෑම පුරවැසියෙකුටම සමාන අවස්ථා ඇතැයි යන පැරණි සිත් සනසවනසුළු මිත්‍යාව කුඩුපට්ටම් වී ඇත.ගැඹුරු වන ආර්ථික පරිහානිය දැන් කම්කරු පන්තියට පමණක් නොව මධ්‍යම පන්තියේ සැලකිය යුතු ස්ථරයකටද බලපායි. ආර්ථික කම්පන, ජීවන වියදම් අර්බුදය, ඉහළ යන උද්ධමනය සහ දිනෙන් දින ඉහළ යන පොලී අනුපාත කුඩා වැටීම විසින් සුළු ව්‍යාපාර බංකොලොත්භාවයට ඇද දමයි. සුපිරි ධනවතුන් සහ ඔවුන්ගේ වල්ගයේ එල්ලී සිටින අය හැරුණු විට සමාජයේ සෑම මට්ටමකම පොදු අනාරක්ෂිත භාවයක් සහ බියක් නිර්මාණය වී පවතී.සමාජ ක්‍රමයේ යුක්තිසහගත භාවය පදනම් විය යුත්තේ සමෘද්ධිය පුළුල් ලෙස බෙදාහදා ගැනීමට හැකිවීම මතය. එහෙත් ප්‍රකෝටිපතියන් කිහිප දෙනෙකු, යෝධ බැංකු සහ සමාගම් කීපයක් අත ප්‍රාග්ධනය වඩ වඩාත් සංකේන්ද්‍රනය වෙමින් ඇත.ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද අපට ඇත්තේ යන්තමින් වෙස්වලාගත් මහ ධනවතුන් කිහිප දෙනෙකු විසින් ගෙනයන පාලනයකි. ධනය විසින් බලය මිලදී ගනී. මෙය හැමෝම දන්නා කරුණකි. ප්‍රජාතන්ත්‍රවාදයේදී එක් පුරවැසියෙකුට ඇත්තේ එක ඡන්දයකි. නමුත් ධනවාදයේදී ඩොලර් එකකට එක ඡන්දයකි. එනම්, ඩොලර් බිලියන කිහිපයක් ඇත්තා ධවල මන්දිරයට ඇතුල්වීමේ ටිකට් පත මිලදී ගනී.මෙම කරුණ දැන් බොහෝ දෙනාට වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී. ඒ බව අපට පවතින දේශපාලන පර්යාය කෙරෙහි ජනතාව තුළ වැඩෙන, උදාසීනත්වය සහ පාලක ප්‍රජාව හා එහි ආයතන කෙරෙහි ඇති අවිශ්වාසය - ඇත්තෙන්ම වෛරය - යනාදිය දෙස බැලූ විට වටහාගත හැකිය.පාර්ලිමේන්තු පාලනය හුදු විහිළුවක් වී ඇත. තේරී පත් වූ ආයතන හුදු කතා සාප්පු බවට පත්වන අතර සැබෑ බලය පාර්ලිමේන්තුවෙන් කැබිනට් මණ්ඩලයටත්, කැබිනට් මණ්ඩලයේ සිට අවසානයේ ජනතා ඡන්දයෙන් තේරී පත් නොවූ නිලධාරීන්ගේ සහ ‘උපදේශක’ කල්ලි වෙතටත් ගමන් කරයි.පොලිසිය සහ අධිකරණය ස්වාධීනය යන අමූලික බොරුව සියල්ලන්ටම ඇස් පනා පිට හෙළිදරව් වෙමින් පවතී. පන්ති අරගලය තීව්‍ර වන විට, මෙම ආයතන වඩ වඩාත් හෙලිදරව් වනු ඇති අතර කලක් ඔවුන් සතුව තිබූ ගෞරවය හා අධිකාරය ඔවුන්ට අහිමි වනු නියතය.අවසානයේදී ධනපති පංතියේ කොටස් විසින් අවුල් සහගත බව වැඩිය, වැඩ වර්ජන සහ උද්ඝෝෂණ ඕනෑවටත් වඩා වැඩිය, ව්‍යාකූලත්වය හොඳටම වැඩිය ආදී නිගමනවලට එළැඹෙනු ඇත. අනතුරුව ඔවුහු “නීතිය ක්‍රියාත්මක කරමු!” යනුවෙන් බෙරිහන් දෙනු ඇත. දැනටමත් අපට දක්නට ඇති පරිදි පෙලපාලි යාමේ අයිතිය, වැඩවර්ජන කිරීමේ අයිතිය, භාෂණයේ සහ ජනමාධ්‍ය නිදහස වැනි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත සීමාවන් පනවා ඇත.යම් අවස්ථාවකදී, ඒ හෝ මේ ආකාරයෙන් ආඥාදායකත්වය වෙත එළිපිටම යොමු වීමට ධනේශ්වරය පෙළඹෙනු ඇත. එහෙත් යතාර්ථයේදී මෙයට ඉඩක් ලැබෙන්නේ පළමු ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ සිදු වූවාක් මෙන්, කම්කරු පන්තිය දරුණු පරාජයන් මාලාවකට ගොදුරු වීමෙන් පසුව පමණි.එහෙත් ඊට පෙර, කම්කරු පන්තියට ධනේශ්වර රාජ්‍යයේ ශක්තියට එරෙහිව තම ශක්තිය උරගා බැලීමටත්, තමන් අතට බලය ගැනීමටත් බොහෝ අවස්ථාවන් ලැබෙනු ඇත.ෆැසිස්ට්වාදී අවදානමක් පවතීද?මතුපිටින් පෙනෙන දේ පිළිබඳ හැඟීම්බරව නිගමන වලට එළැඹෙන ජාත්‍යන්තර පරිමාණ අඥාන ඊනියා වාමාංශය විසින් ට්‍රම්ප්වාදය, ෆැසිස්ට්වාදයක් ලෙස දකියි. එවැනි පැටලිලි සහගත අදහස් අපට විශේෂ සංසිද්ධිවල සැබෑ වැදගත්කම තේරුම් ගැනීමට බාධා පමුණුවයි.මෙම විකාර අදහස් ඔවුන්ව සෘජුවම පන්ති-සහයෝගීතාවාදී ප්‍රතිපත්තිවල වගුරු බිම කරා ගෙන යයි. ‘අඩු නපුර’ යන ව්‍යාජ අදහස ඉදිරියට ගෙන යාමෙන් ඔවුන් කම්කරු පන්තියට සහ එහි සංවිධානවලට ධනේශ්වරයේ එක් ප්‍රතිගාමී අංශයක් සමඟ තවත් එකකට එරෙහිව එක්සත් වන ලෙසට ආරාධනා කරයි.ජෝ බයිඩන්ට සහ ඩිමොක්‍රටිකයින්ට සහය දැක්වීමට ඡන්දදායකයින් පෙළඹවීමට ඔවුන් තුඩු දුන්නේ මෙම ව්‍යාජ ප්‍රතිපත්තියයි - පසුව බොහෝදෙනා එම ඡන්දය ගැන පසුතැවුණි.මෙලෙස ‘ෆැසිස්ට්’ යැයි කියනු ලබන අන්තරාය පිළිබඳ නිරතුරුවම හඬ ගෑම නිසා, අනාගතයේ දී සැබෑ ෆැසිස්ට් බලඇණි වලට මුහුණ දීමට සිදුවූ විට කම්කරු පන්තිය ඒ ඉදිරියේ නිරායුධ වීමක් සිදුවනු ඇත. වර්තමානය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ට අදාළ කරුණ සම්පූර්ණයෙන්ම මඟ හැරී ඇත.ජාත්‍යන්තර පරිමාණවම මතුපිටින් පමණක් බලා ප්‍රකාශ නිකුත්කරන ඊනියා වමේ කියාගන්නා අය, අඥාන ලෙස ට්‍රම්ප්වාදය දකින්නේ ෆැසිස්ට්වාදය ලෙසය.දක්ෂිණාංශික වාචාලයන් ඕනෑ තරම් සිටින අතර ඒ අතරින් සමහරු බලයට පවා තේරී පත් වෙති. කෙසේ වෙතත්, එය කම්කරුවන්ගේ සංවිධාන විනාශ කිරීම සඳහා බලමුලු ගැන්වූ, පොලු මුගුරු අතට ගත්, කුපිත වූ සුළු ධනේශ්වර කොටස් මත පදනම් වූ ෆැසිස්ට් පාලන තන්ත්‍රයකට සමාන නොවේ.1930 ගණන් වලදී, සමාජ ප්‍රතිවිරෝධතා සාපේක්ෂ වශයෙන් කෙටි කාලයක් තුළ විසඳුන අතර, ඒවා අවසන් විය හැකිව තිබුණේ එක්කෝ නිර්ධන පංතික විප්ලවයේ ජයග්‍රහණයෙන් නැත්නම් ෆැසිස්ට්වාදයේ හෝ බොනපාට්වාදයේ ප්‍රතිගාමීත්වයකින් පමණි.එහෙත් අතීතයේදී, පාලක පන්තිය ෆැසිස්ට්වාදීන් මතට තම ශක්තිය පැටවීමෙන් තම අත්වල ඇඟිලි දරුණු ලෙස පුළුස්සා ගන්නා ලදී. එමනිසා ඔවුන් නැවතත් පහසුවෙන් එම මාවත තෝරා නොගන්නවා ඇත.වඩාත් වැදගත් වන්නේ, අද එවැනි වේගවත් විසඳුමක් කාලයත් සමඟ වෙනස්ව ඇති බල තුලනය විසින් බැහැර කිරීමයි. ප්‍රතිගාමිත්වයට ලැදි සමාජ කොටස් 1930 ගණන්වලට වඩා අද බෙහෙවින් දුර්වල වන අතර කම්කරු පන්තිය මත පැටවී ඇති බර බෙහෙවින් වැඩිය.දියුණු ධනපති රටවල මේ වන විට ගොවි ජනතාව බොහෝ දුරට අතුරුදහන් වී ඇති අතර, කලින් තමන් මධ්‍යම පාන්තික (වෘත්තීයමය පුද්ගලයින්, සුදු කරපටි කම්කරුවන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, සිවිල් සේවකයන්, වෛද්‍යවරුන් සහ හෙදියන්) ලෙස දුටු පුළුල් ස්ථරයන් නිර්ධන පංතියට වඩාත් සමීප වී ඇත; මෙහි අතුරුඵලයක් ලෙස වෘත්තිය සමිති දෙසට ඔවුන්ද ගමන් කර ඇත.1920 ගණන්වල සහ 1930 ගණන්වල ෆැසිස්ට්වාදය වෙනුවෙන් ප්‍රහාරක හමුදාවන්ට භටයින් සැපයූ තරුණ සිසුන් තියුණු ලෙස වමට බර වෙමින් විප්ලවවාදී අදහස් සඳහා විවෘතව ඇත. බොහෝ රටවල කම්කරු පන්තිය දශක ගණනාවක් තිස්සේ බරපතල පරාජයන් කිසිවක් අත්විඳ නැත. බොහෝ දුරකට එම රටවල කම්කරු බලවේග හානියකට පත්ව නොමැත.ධනේශ්වරය සිය ඉතිහාසයේ බරපතලම අර්බුදයට මුහුණ දී සිටින නමුත්, කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිමත් බව නිසා, ප්‍රතිගාමිත්වයේ දිශාවට ඉක්මනින් ගමන් කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත.එයින් අදහස් කරන්නේ අතීතයේ ලත් ජයග්‍රහණ ආපසු අත්කර ගැනීමට උත්සාහ කරන විටදී පාලක පන්තිය බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි. අර්බුදයේ ගැඹුර යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ට ඇටකටු දක්වාම කප්පාදු කිරීම වෙනුවෙන් උත්සාහ දැරීමට සිදුවනු ඇති බවයි. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස රටකට පසු රටක බැගින් පිපිරීම් ඇති කෙරෙනු ඇත.පාරිසරික ව්‍යසනය.නිරන්තර යුද්ධ සහ ආර්ථික අර්බුද වලට අමතරව, නරුම ලෙස පරිසරය දූෂණය කිරීමෙන් පෘථිවිය මත මිනිස් සංහතිය තර්ජනයට ලක්ව ඇත. ලාභ සෙවීමේ ක්‍රියාන්විතයේදී ධනේශ්වර ක්‍රමය විසින් දිගින් දිගටම අප හුස්ම ගන්නා වාතය, කන ආහාර සහ බොන ජලය විෂ බවට පත්කර ඇත.එය ඇමසන් වනාන්තරය සහ ධ්‍රැවීය අයිස් කඳු විනාශ කරයි. සාගරය තුළ ප්ලාස්ටික් ගොඩගසා. රසායනික අපද්‍රව්‍ය වලින් දූෂිත කර ඇත. තිගැස්සෙන සුළු වේගයකින් සත්ව විශේෂයන් වඳ වී යමින් පවතී. සමස්ත ලෝක වාසීන්ගේම අනාගතය අනතුරට ලක්ව ඇත.පරිසර දූෂණය හා දේශගුණික විපර්යාසවල බලපෑමෙන් වඩාත්ම නරක ලෙස පීඩාවට පත්ව සිටින්නේ සමාජයේ දුප්පත්ම කොටස් සහ කම්කරු පන්තියයි. අමතරව, ධනවාදය විසින් නිර්මාණය කරන අර්බුදයන් වෙනුවෙන් ගෙවන ලෙසද පාලක පන්තිය ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.මනුෂ්‍යත්වය ඉදිරියේ ඇති තේරීම සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය බව මාක්ස් පැහැදිලි කළේය. ම්ලේච්ඡත්වයේ වස්තුබීජ දැනටමත් දියුණු ධනේශ්වර රටවල පවා පවතින අතර ශිෂ්ඨාචාරයේ පැවැත්මද තර්ජනයකට ලක් වී ඇත. ධනවාදය මානව වර්ගයාගේ පැවැත්මට ඉමහත් තර්ජනයක් බව පැවසීමට අද අපට අයිතියක් ඇත.මෙම කරුණු මිලියන ගණනක් ජනයාගේ, විශේෂයෙන්ම තරුණ ජනයාගේ හෘද සාක්ෂිය අවුලුවාලයි. නමුත් යුක්තිසහගත කෝපය සහ කෝපාවිෂ්ඨ පෙලපාලි පමණක් මේ වෙනුවෙන් ප්‍රමාණවත් නොවේ. පරිසර ව්‍යාපාරය හිස් අභිනයන් සහිත දේශපාලනයකට සීමා වුවහොත්, එය බෙලහීන භාවයට ඇද වැටෙනු ඇත.පරිසර ගැටලුවේ වඩාත් ප්‍රකටව පෙනෙන රෝග ලක්ෂණ පෙන්වා දීමට පරිසරවේදීන්ට හැකියාව ඇත. නමුත් ඔවුන් නිවැරදි රෝග විනිශ්චයක් ලබා නොදෙන අතර, එවැන්නක් නොමැතිව රෝගය සුව කිරීමට නොහැකිය. පාරිසරික ව්‍යාපාරයට එහි අරමුණු සාර්ථක කොටගත හැක්කේ එය පැහැදිලි සහ දෙබිඩි නොවන ධනේශ්වර විරෝධී විප්ලවවාදී ආස්ථානයක් ගතහොත් පමණි.අප හොඳම කොටස් වෙත ළඟා වී ගැටලුව ධනවාදයම බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ යුතුය. පාරිසරික ව්‍යසනය වෙළඳපල ආර්ථිකයේ හා ලාභ පසුපස යාමේ ධනපති උමතුවේ ප්‍රතිඵලයකි.ඊනියා නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය මානව වර්ගයා මුහුණ දෙන කිසිඳු ගැටලුවක් විසඳීමට නොහැකි පමණට බෙලහීනය. එය දැවැන්ත නාස්තිකාර, විනාශකාරී සහ අමානුෂික එකකි. එකී පදනම මත සිට කිසිදු ප්‍රගතියක් ලඟාකරගත නොහැකිය. සැලසුම්ගත ආර්ථිකයක් වෙනුවෙන් ඉදිරිපත්ව ඇති කරුණු සම්බන්ධයෙන් පිළිතුරු නොමැත.බැංකුකරුවන් සහ ධනපතියන්ගේ දේපළ අත්පත් කර ගැනීම සහ පවතින වෙළඳපල අරාජිකත්වය වෙනුවට සුසංයෝගී සහ තාර්කික සැලසුම්ගත ආර්ථික පද්ධතියක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වේ.නිරන්තරයෙන් ලාභ සොයා යාමේ යෙදෙන ධනේශ්වර ක්‍රමය විසින් අප හුස්ම ගන්නා වාතය, අප ගන්නා ආහාර සහ අප පානය කරන ජලය විෂ බවට පත්කර ඇත.ධනේශ්වර ක්‍රමය දැන් මේ ප්‍රදර්ශනය කරන්නේ ජීවත්වීමට ඇති සියලු හේතු නැති වූ ජීවියෙකුගේ බිහිසුණු හැසිරීම් රටාවයි. නමුත් එය වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති බව එය දැන ඇති බවක් ඉන් අදහස් නොවේ. සත්‍යය වන්නේ එහි ප්‍රතිවිරුද්ධයයි.මෙම පිරිහුණු සහ රෝගී සමාජ ක්‍රමය ජීවිතයට දැඩි ලෙස ඇලී සිටින රෝගී හා වයෝවෘද්ධ මහලු මිනිසෙකුට සමාන වේ. එය කම්කරු පන්තියේ සවිඥානික විප්ලවවාදී ව්‍යාපාරය විසින් පෙරලා දමනු ලබන තෙක් එකතැන පල්වෙමින් පවතිනු ඇත.ධනවාදය විප්ලවවාදී ලෙස පෙරලා දමා, සමාජය ඉහල සිට පහලට ප්‍රතිනිර්මාණය කිරීම තුලින් ධනපති ක්‍රමයේ මෙම දීර්ඝ මරලතෝනියට තිත තැබීම කම්කරු පන්තියේ කර්තව්‍යයි.දැන් ධනවාදයේ පැවැත්ම නියෝජනය කරන්නේ පෘථිවියේ අනාගතයට පැහැදිලි සහ විද්‍යාමාන තර්ජනයකකි. මනුෂ්‍ය සංහතිය තවදුරටත් මේ ග්‍රහලෝකය මත යහතින් ජීවත් වීමට නම් ධනපති ක්‍රමය මිය යා යුතුය!ස්ව්‍යංබද්ධ සාධකයධනවාදය මුහුණ දෙන පොදු අර්බුදය දෙස බැලූ කල, එහි බිඳවැටීම අනිවාර්‍ය හා නොවැළැක්විය හැකි බව නිගමනය කළ හැකිය. එම අර්ථයෙන්ම සමාජවාදයේ ජයග්‍රහණයද ඓතිහාසික වශයෙන් නොවැළැක්විය නොහැකිය.සාමාන්‍ය අර්ථයෙන් ගත්කල එය සත්‍යයකි. නමුත් පොදුවේ දැකියහැකි කරුණු විසින් පෙන්වාලන්නේ දිග හැරෙමින් පවතින සිදුවීම් සංයුක්තව පැහැදිලි කිරීමට එයට නොහැකි බවයි.මෙකී සමස්ත සිදුවීම ඓතිහාසික වශයෙන් මුළුමනින්ම නොවැළැක්විය හැකි නම්, විප්ලවවාදී පක්ෂයක්, වෘත්තීය සමිති, වැඩ වර්ජන, පෙළපාලි, න්‍යාය අධ්‍යයනය හෝ වෙනත් කිසිවක් අවශ්‍ය නොවේ. නමුත් ඉතිහාසයේ සියලුම සිදුවීම් අපට නිවරැදිවම පෙන්වාලන්නේ මෙහි ප්‍රතිවිරුද්ධය සත්‍ය බවයි. ස්ව්‍යංබද්ධ සාධකය, නායකත්වය, ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවන්හිදී නියත වශයෙන්ම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.සංවිධානය නොවූ කම්කරු පන්තිය සූරාකෑම සඳහා වන අමුද්‍රව්‍යයක් මිස අන් කිසිවක් නොවන බව කාල් මාක්ස් පෙන්වා දුන්නේය. සංවිධානය නොවන්නේ නම් අපට කිසිම බලයක් නොමැත. සංවිධානය වන්නේ නම්, අපි කාටත් වඩා බලවත් වෙමු.ඒ සමඟම දැන් අපි ගැටලුවේ සැබෑ මූලයට පැමිණියෙමු. සැබෑ ප්‍රශ්නය නම් නිවැරැදි නායකත්වයක් නොමැතිකමයි - කම්කරු නායකයින්ගේ ජරාජීර්ණ බවයි.දශක ගණනාවක සාපේක්ෂ නැඟීම තුළදී ඓතිහාසිකව විකාශනය වූ කම්කරු පන්තියේ බහුජන සංවිධාන පාලක පන්තියේ හා සුලු ධනේශ්වරයේ පීඩනයට හසු විය. මෙම පීඩනය හේතුවෙන් කම්කරු සංවිධාන තුළ කම්කරු නායකයින්ගේ නිළධාරීවාදය ශක්තිමත් විය.ධනවාදයේ අර්බුදය යන්නෙන් අනිවාර්යයෙන් ප්‍රතිසංස්කරණවාදයේ අර්බුදයද අදහස් කෙරෙයි. දක්ෂිණාංශික වී ඇති නායකයින් විසින් මේ වනවිට අදාළ කම්කරු සංවිධාන ආරම්භ කළ කාලයේ ඒවායේ පැවති අදහස් අතහැර දමා ඇති අතර ඔවුන් නියෝජනය කළ යුතුව පවතින පන්තියෙන් වෙන් වී ඇත.ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා, වත්මන් කම්කරු සංවිධානවල නායකත්වය ධනේශ්වරයේ පීඩනයට හසුව මිරිකී ඇත. බොහෝ අවස්තාවන්හීදී ලෙනින් විසින්ද උපුටා දක්වන ලද, ඇමරිකානු සමාජවාදී ව්‍යාපාරයේ පුරෝගාමියෙක් වූ ඩැනියෙල් ඩිලියොන් කියා සිටි ආකාරයට, ඔවුන් හුදෙක් “ධනවාදයේ කම්කරු ලුතිනන්වරුන්” වේ. ඔවුන් නියෝජනය කරන්නේ අතීතය මිස වර්තමානය හෝ අනාගතය නොවේ. දැන් ඇරඹී ඇති සැඩ කුණාටු සහිත කාල පරිච්ඡේදයේදී ඔවුන් පසෙකට ගසාගෙන යනු ඇත.එමෙන්ම මෙම ගැටලුව දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණවාදයෙන් ආරම්භ වන්නක් හෝ කෙළවර වන්නක් නොවේ.'වමේ' බංකොලොත්කමසෑම තැනකම පාහේ දක්ෂිණාංශයේ සහ පවතින යන්ත්‍රනයේ පීඩනයන්ට ගොදුරු වූ ඊනියා වම විසින් සැලකිය යුතු තරමේ විනාශකාරී භූමිකාවක් ඉටු කර ඇත. අපි මෙය ග්‍රීසියේ සිරිසා පක්ෂයේ සිප්රාස් ඇතුළු අනෙකුත් නායකයන් තුළ දුටුවෙමු. එම ක්‍රියාවලියම ස්පාඤ්ඤයේ පොඩෙමෝස් පක්ෂයේද, ඇමරිකා එක්සත් ජනපදයේ බර්නි සැන්ඩර්ස් තුළද, බ්‍රිතාන්‍යයේ ජෙරමි කෝබින් තුළද දැකිය හැක.මේ හැම අවස්ථාවකදීම වාම නායකයන්, මුලදී බොහොමයක් ජනයාගේ සිත් තුළ බලාපොරොත්තු ඇති කළ නමුත් දක්ෂිණාංශයේ බලපෑම්වලට යටත් වීමත් සමඟම එම බලාපොරොත්තු සුන් කරලීය.මෙම නායකයින්ගේ බියගුලුකම සහ දුර්වලකම පිළිබඳ චෝදනා කිරීම කාටත් පහසු දෙයකි. නමුත් මෙතනදී අප ගනුදෙනු කරන්නේ පුද්ගල සදාචාරය හෝ පුද්ගල ධෛර්යය සමඟ නොව, දැවැන්ත දේශපාලනික දුර්වලතාවයන් සමඟය.සෑම තැනකදීම දක්ෂිණාංශයේ සහ සංස්ථාපිතයේ පීඩනයට යටත් වූ ඊනියා වම විසින් සුවිශේෂ වූ විනාශකාරී භූමිකාවක් ඉටු කර ඇත.වාම ප්‍රතිසංස්කරණවාදීන් පිළිබඳ පවතින ගැටලුව වන්නේ ධනේශ්වර ක්‍රමයෙන් නොබිඳී ජනතාවගේ ඉල්ලීම් ඉටුකිරීමට හැකි බව ඔවුන් තරයේ විශ්වාස කිරීමයි. මේ ආකාරයෙන් ගත් කල, ඔවුන් දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණවාදීන්ගෙන් වෙනස් වන්නේ නැත, වෙනස් වන එකම තැන නම් දක්ෂිණාංශිකයින් බැංකුකරුවන් සහ ධනපතියන් කෙරෙහි ඔවුන්ගේ ඇති සම්පූර්ණ ලැදියාව වසන් කිරීමට උත්සුක නොවීමයි.ප්‍රධාන වශයෙන් අද ‘වම’ සමාජවාදය ගැන කතා කරන්නේවත් නැත. ඔවුන් 1930 ගණන්වල පැරණි වමේ නායකයින්ගේ සෙවනැල්ලක් තරම්වත් නොවේ. ඒ වෙනුවට, ඔවුන් වඩා හොඳ ජීවන තත්ත්වයන්, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යනාදිය සඳහා වන දුර්වල ඉල්ලීම් වලට සීමා වී ඇත.ඔවුන් තවදුරටත් ධනවාදය පිළිබඳ සඳහනක් කරන්නේවත් නැත, ඒ වෙනුවට ‘නව ලිබරල්වාදය’ - එනම්, ‘ලස්සන’ ධනවාදයට පටහැනිව, ‘නරක’ ධනවාදයක් පිළිබඳ සඳහන් කරයි – මේ මනඃකල්පිත ලස්සන ධනවාදය යනු කුමක්දැයි ඔවුන් කිසිවිටෙක නිශ්චිතව නොපවසති.ඔවුන් ප්‍රවාහයෙන් කැඩී වෙන්වීම ප්‍රතික්ෂේප කරන නිසා, වාම ප්‍රතිසංස්කරණවාදීන්ට පාලක පන්තිය සමඟ ලැගුම් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වීම නොවැළැක්විය හැකිය. ධනපතියාට තමන් තර්ජනයක් නොවන බවත්, ධනපතියන්ගේ වුවමනා එපාකම් බලාකියා ගැනීමට තරම් තමා විශ්වාස කටයුතු බවත් ඔප්පු කිරීමට ඔවුහු උත්සුක වෙති.එකමුතුකම පවත්වා ගැනීමේ අවශ්‍යතාවය නිසා කියමින්, කම්කරු ව්‍යාපාරය තුළ සිටින පාලක පන්තියේ ඒජන්තයින් වන දක්ෂිණාංශිකයින්ගෙන් වෙන්වීම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කිරීම ඔවුන් සාධාරණීකරණය කිරීමට දරණ උත්සාහය මෙයින් පැහැදිලි වේ.අවසානයේදී, මින් සිදුවන්නේ ඔවුන්ට සෑම විටම දකුණට යටත් වී සිටීමට සිදුවීමයි. නමුත් දකුණ පාලනය අතට ගත් විගස, ඔවුන් කිසිඳු පැකිලීමක් නොදක්වයි - වහාම වමට එරෙහි දඩයම අරඹයි.ඒ අනුව, මෙය බියගුලුකමක් හෝ ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික චරිත ස්වභාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය වාම-ප්‍රතිසංස්කරණවාදයේ දේශපාලන ජාන වලින් වෙන් කළ නොහැකි එකකි.පීඩනයට එරෙහි අරගලයපවතින සමාජයට, එහි සාරධර්මවලට, එහි සදාචාරයට සහ එහි නොඉවසිය හැකි අසාධාරණයන්ට සහ පීඩනයට එරෙහිව සමාජයේ බොහෝ ගැඹුරින් ඇති ප්‍රවාහයන් තුළ ධනවාදයේ අර්බුදය තම ප්‍රකාශනය සොයාගෙන ඇත.වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ඇති ප්‍රතිවිරෝධතාව සමාජය තුළ පවතින කේන්ද්‍රීය ප්‍රතිවිරෝධයයි. කෙසේ වෙතත්, පීඩනය විවිධ ආකාර ගන්නා අතර ඒවායින් සමහරක් බොහෝමයක් පැරණි සහ වැටුප්-වහල්භාවයට වඩා ගැඹුරින් මුල් බැස ඇති ඒවා වේ.පුරුෂයන් ආධිපත්‍යය දරන ලෝකය තුළ ස්ත්‍රීන්ගේ පීඩාව වඩාත්ම ව්‍යාප්ත හා වේදනාකාරී පීඩාවයි. අර්බුදය විසින් ස්ත්‍රීන් ආර්ථික වශයෙන් පුරුෂයන් මත යැපීම තවත් වැඩි කර ඇත. රාජ්‍ය සමාජ වියදම් කප්පාදුව දරුවන් සහ වැඩිහිටියන් රැකබලා ගැනීමේ බරද දරා සිටින ස්ත්‍රීන් මත සමානුපාතික නොවන අන්දමේ විශාල බරක් පටවා ඇත.කාන්තා හිංසනය නම් වසංගතය ලොව පුරා පැතිර ඇත. ගබ්සාවන් සඳහා ඇති අවස්ථා වැනි ඔවුන්ගේ අයිතීන් විශාල ප්‍රමාණයක් ප්‍රහාරයට ලක්ව ඇත. මෙය විශාල ආවේගයක් අවුලවාලන අතර, විශේෂයෙන්ම තරුණ ස්ත්‍රීන් අතර සටන්කාමී මනෝභාවයක් වර්ධනය කර ඇත.කාන්තාවන්ට, සමේ වර්ණයට, සමලිංගිකයන්ට, සංක්‍රාන්ති ලිංගිකයන්ට හෝ වෙනත් පීඩිත කණ්ඩායමකට හෝ සුළුතරයකට හෝ එරෙහිව යොමු කරන, ඕනෑම ආකාරයක පීඩනයකට සහ වෙනස් කොට සැලකීමට අපි විරුද්ධ වෙමු.මෙම බිහිසුණු පීඩනයට එරෙහිව කාන්තාවන්ගේ අරගලය ධනවාදයට එරෙහි අරගලයේදී මූලික වැදගත්කමක් දරයි. කාන්තාවන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් තොරව සාර්ථක සමාජවාදී විප්ලවයක් කිසිසේත්ම ඇති විය නොහැක.සියලු ආකාරයේ පීඩනයන්ට හා වෙනස් කොට සැලකීම්වලට එරෙහි අරගලය ධනවාදයට එරෙහි සටනේ අත්‍යවශ්‍ය කොටසකි.අපගේ ස්ථාවරය ඉතා සරලය: පීඩකයන්ට එරෙහි සෑම අරගලයකදීම, සැමවිටම අපි පීඩිතයාගේ පැත්ත ගන්නෙමු. නමුත් මෙම පොදු ප්‍රකාශය අපගේ ස්ථාවරය දක්වා සිටීමට තරම් ප්‍රමාණවත් නොවේ. අපගේ ආකල්පය අත්‍යවශ්‍යයෙන්ම සෘණාත්මක එකක් බව අප එකතු කළ යුතුය.එනම්: ස්ත්‍රීන්ට, පුද්ගලයින්ගේ වර්ණයට, සමලිංගික හා සංක්‍රාන්ති ලිංගිකයන්ට හෝ වෙනත් පීඩිත කණ්ඩායමකට හෝ සුළුතරයකට එරෙහිව වන ඕනෑම ආකාරයක පීඩනයකට සහ වෙනස් කොට සැලකීමකට අපි විරුද්ධ වෙමු.කෙසේ වෙතත්, යම් කණ්ඩායමක අයිතීන් ආරක්ෂා කිරීමේ මුවාවෙන්, අවසානයේ කම්කරු පන්තියේ එක්සත්කම දුර්වල කරන සහ පාලක පන්තියට අගනා උපකාරයක් හා ප්‍රතිගාමී හා බෙදුම්වාදී භූමිකාවක් ඉටු කරන ‘අනන්‍යතා දේශපාලනය’ අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමු.කම්කරු ව්‍යාපාරය සියලූ ආකාරයේ පිටස්තර අදහස් වලින් ආසාදනය වී ඇත: පිටස්තර සහ ප්‍රතිගාමී මතවාද පතුරවන වාහකයක් ලෙස ක්‍රියාකරන 'වාම' සුළු ධනේශ්වරය විසින් විශ්ව විද්‍යාල තුළින් පන්නාගත් පශ්චාත් නූතනවාදය, අනන්‍යතා දේශපාලනය, 'දේශපාලන නිවැරදිභාවය' ආදී නානාප්‍රකාර විකාර අදහස් එයට ඇතුළත්ය.ඊනියා පශ්චාත් නූතනවාදයේ අතුරු ඵලයක් වන අනන්‍යතා දේශපාලනය ශිෂ්‍යයන්ගේ මොළය විකාර කිරීමට හේතු වී ඇත. මෙම ආගන්තුක අදහස් කම්කරු ව්‍යාපාරයට පිටින් හඳුන්වා දී ඇති අතර, මේ අදහස් නිලධාරි තන්ත්‍රය විසින් වඩාත් එඩිතර පන්ති සටන්කාමීන්ට එරෙහිව ගෙනයන අරගලයේදී වඩාත් ඵලදායී ආයුධයක් ලෙස භාවිතා කරයි.ආර්ථික හා දේශපාලන පෙරමුණු තුළ පමණක් නොව මතවාදී පෙරමුණ ඇතුළු සියලු පෙරමුණු තුළ කොමියුනිස්ට්වාදීන් සටන් කළ යුතු බව ලෙනින් අවධාරණය කළේය. අපි මාක්ස්වාදී න්‍යායේ සහ අපෝහක භෞතිකවාදී දර්ශනයේ ශක්තිමත් පදනම මත ස්ථිරසාරව පිහිටා සිටිමු.විවෘත, වෙස්වළාගත් ආගමික ගුප්තවාදය හෝ නරුම, වෙස්වළාගත් විසෙහි කිසිඳු අඩුවක් නැති පශ්චාත් නූතනවාදයේ එන ගුප්තවාදය වැනි දාර්ශනික විඥානවාදයේ ඇති සෑම ආකාරයකටම මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරෝධී වේ:එබැවින් මෙම පිටස්තර පන්ති දෘෂ්ටිවාදයන්ට සහ එහි සුලු ධනේශ්වර පඬිවරුන්ට එරෙහි මතවාදීමය අරගලය ඉතා වැදගත් කාර්යයක් වේ. ධනපති හාම්පුතුන්ට හා ඔවුන්ගේ බොහෝ පැරණි උපක්‍රමය වන ‘බෙදා වෙන්කොට පාලනය කිරීම’ යන බෙදුම්වාදී සහ ප්‍රතිවිප්ලවවාදී වැඩපිළිවෙළට හිස එසවීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.ඇත්ත වශයෙන්ම, කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කරන තරුණ ස්ථර අතර මෙම විසකුරු අදහස්වලට එරෙහි ප්‍රතික්‍රියාවක් දැනටමත් ආරම්භ වී ඇත.කොමියුනිස්ට්වාදීන් පන්ති දේශපාලනයේ පදනම මත ස්ථිරව සිටගෙන ජාති, වර්ණ, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව හෝ ආගම යන සියලු බෙදීම්වලට වඩා කම්කරු පන්තියේ එක්සත්කම ආරක්ෂා කරති. ඔබ කළුද සුදුද, පුරුෂද, ස්ත්‍රීද යන්න අපට අදාළ නැත. ඔබේ ජීවන රටාව හෝ ඔබේ සහකරු කවුරුන්ද යන්න ගැන අපි යන්තමින්වත් උනන්දු නොවෙමු. මේවා හුදු පෞද්ගලික කාරණා වන අතර කිසිවෙක් - නිලධරයකු, පූජකයකු හෝ දේශපාලකයකු වීමේ අදාළත්වයක් නොමැත.අප හා සම්බන්ධ වීමට ඇති එකම අවශ්‍යතාවය නම්, සැබෑ නිදහස, සමානාත්මතාවය සහ ස්ත්‍රීන් හා පුරුෂයන් අතර සැබෑ මානුෂීය සබඳතා ඇති කළ හැකි එකම අරමුණ - කම්කරු පන්තියේ විමුක්තිය සඳහා වන සටන නම් වූ පාරිශුද්ධ කරුණ- සඳහා ඇති ඔබගේ සූදානම සහ සටන් කිරීමට ඇති කැමැත්තයි.නමුත් කොමියුනිස්ට්වාදියෙක් ලෙසට සම්බන්ධ වීමට ඇති පූර්ව කොන්දේසියක් නම්, අනන්‍යතා දේශපාලනයේ ප්‍රතිගාමී විකාර සියල්ල අත්හැර දමා අප වෙත පැමිණීමයි.වෘත්තීය සමිතිවර්තමාන කාල පරිච්ඡේදය ඉතිහාසයේ වඩාත්ම සැඩ කුණාටු හා කම්පනවලින් යුත් කාල පරිච්ඡේදයයි. පන්ති අරගලයේ පොදු පුනර්ජීවනයක් සඳහා වේදිකාව සකස් වී ඇත. නමුත් එය පහසු නොවනු ඇත. අඩු-වැඩි වශයෙන් නිද්‍රාශීලී කාලපරිච්ඡේදයකින් පසු කම්කරු පන්තිය අවදි වන්නට පටන් ගෙන තිබේ. ඔවුන්ට වෘත්තීය සමිති තුළ සංවිධානය වීමේ අවශ්‍යතාවය වැනි මූලික පාඩම් පවා බොහෝමයක් නැවත උගත යුතුව ඇත.එහෙත් වෘත්තීය සමිති වලින් පටන්ගෙන සෑම තැනකම සියළු බහුජන සංවිධානවල නායකත්වය පත්ව ඇත්තේ දුක්ඛිත තත්ත්වයකටය. කම්කරු පන්තියේ වඩාත්ම දැවෙන අවශ්‍යතා සපුරාලීමට තමන්ට කිසිසේත් නොහැකි බව ඔවුන් හෙළි කර ඇත. ඔවුන්ට වෘත්තීය සමිති ගොඩනඟා ඒවා වඩාත් ශක්තිමත් කිරීමට හෝ නොහැකි වී තිබේ.එහි ප්‍රතිඵලයක් වශයෙන්, භාණ්ඩ බෙදා හැරීමේ නියුතු රියදුරන්, ඇමතුම් මධ්‍යස්ථාන සේවකයන් සහ ඒ හා සමාන අවිනිශ්චිත රැකියාවල නියැලී සිටින නව පරම්පරාවේ තරුණ කම්කරුවන්ගේ සමස්ත ස්ථරයම තමන් වටින්නේ සූරාකෑම සඳහා වන අමුද්‍රව්‍යයකට වඩා මඳක් බව වටහා ගනී.ඉතාම අධික ලෙස වැඩගන්නා ඉතා අශෝභන සේවා තත්ත්වයන් පවතින ඇමසන් ගබඩා වැනි නවීන ආයතනවල වැඩ කරන සේවකයන් ම්ලේච්ඡ සූරාකෑමට, දිගු පැය ගණනක් සේවය කිරීමට සහ නරක වැටුප්වලට යටත් කොට ඇත. වර්ජන ක්‍රියාමාර්ගවලට යොමු වන බවට තර්ජනය කිරීමෙන් පමණක් කම්කරුවන්ට ඉහළ වැටුප් වැඩිවීම් ලබා ගත හැකිව තිබූ යුගය අවසන්ව දැන් බොහෝ කල් ගෙවී ගොසිනි. සහන දීමට තබා දැනට පවතින වැටුප් මට්ටම පවත්වා ගැනීමටවත් තමන්ට හැකියාවක් නැති බව හාම්පුතුන් කියනු ඇත.පන්ති සාමය සහ සම්මුතිය ගැන තවමත් සිහින දකිමින් සිටින අය ජීවත් වන්නේ අතීතයේය, ධනවාදයේ එම අවධිය අවසන් වී ඇත. මනෝරාජිකයින් වන්නේ වෘත්තීය සමිති නායකයින් මිස මාක්ස්වාදීන් නොවේ! මහා සටන් හරහා සේම නරක නායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස නිර්ධන පන්තියට අත්වන පරාජයන් හරහාද පුළුල් දැක්මක් ලබාගත හැකිය. අවශ්‍ය වන්නේ ලේ කුපිත කරවන සටන්කාමීත්වයක් සහ පන්ති අරගලයේ පුනර්ජීවනයකි.රැඩිකල්කරණයේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යමින් වඩාත් ගැඹුරු වනු ඇත. මෙය වෘත්තීය සමිති හා සේවා ස්ථානවල කොමියුනිස්ට්වාදීන්ගේ වැඩ කටයුතු සඳහා විශාල අවස්ථාවන් විවෘත කරනු ඇත.ඉදිරි මාවත ලෙස අපෙන් ඉල්ලා සිටින්නේ බරපතල ලෙස ප්‍රතිසංස්කරණවාදයට එරෙහිවත්, වෘත්තීය සමිති වලින් පටන් ගෙන කම්කරු පන්තියේ බහුජන සංවිධානවලට පුනර්ජීවය දීමේත් අරගලයකි. ඒවා කම්කරු පන්තියේ සටන් සංවිධාන බවට පරිවර්තනය කළ යුතුය.එහෙත් මෙය සාක්ෂාත් කර ගත හැක්කේ ප්‍රතිසංස්කරණවාදී නිලධරයට එරෙහි අනුකම්පා විරහිත අරගලයකින් පමණි. වෘත්තීය සමිති ඉහල සිට පහලට පවිත්‍ර කල යුතු අතර පන්ති සහයෝගීතා පිළිවෙත් මුලුමනින්ම ඉවත් කළ යුතුය.සටන්කාමීත්වය පමණක් ප්‍රමාණවත් නොවේප්රතිසංස්කරණවාදයට එරෙහි අරගලය යන්නෙන් අදහස් වන්නේ අප ප්‍රතිසංස්කරණවලට විරුද්ධ බව නොවේ. අපි වෘත්තීය සමිති නායකයින් විවේචනය කරන්නේ ඔවුන් ප්‍රතිසංස්කරණ සඳහා සටන් කරන නිසා නොව, ඔවුන් කිසිවකට සටන් නොකරන බැවිනි.ඔවුන් හාම්පුතුන් සමඟ ලැගුම් ගැනීමට ගැනීමට ගිමන්හල් සොයති; බිම් මට්ටමේ කම්කරුවන් ඔවුන් මත ඇතිකරන පීඩනය නිසාවෙන් ඔවුන්ට සටන් ක්‍රියාමාර්ග ගැනීමට බලකෙරෙන විට, ඔවුන් සටන් ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් අවසන් කරදැමීම සඳහා වැඩවර්ජන ක්‍රියාමාර්ග සීමා කිරීමට සහ කුණුවූ සම්මුතියකට එළඹීමට තමන්ට හැකි සෑම දෙයක්ම කරති.කොමියුනිස්ට්වාදීන් කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන්ගේ සහ අයිතීන්ගේ වැඩිදියුණු කිරීමක් නියෝජනය කරන කුඩාතම ප්‍රතිසංස්කරණය සඳහා පවා සටන් කරනු ඇත. එහෙත් වත්මන් තත්ත්වයන් යටතේ, අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා වන අරගලය සාර්ථක විය හැක්කේ එයට පුළුල් හා විප්ලවවාදී ආභාෂයක් පවතින තරමට පමණි.එය ප‍්‍රායෝගිකව පරීක්‍ෂාවට භාජනය කරන තරමට විධිමත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාවන් නිරාවරණය වනු ඇත. පන්ති අරගලයේ වර්ධනය සඳහා වඩාත් හිතකර කොන්දේසි ගෙන ඒම සඳහා වන ඕනෑම අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක් ආරක්ෂා කිරීමට අපි සටන් කරන්නෙමු.සමස්තයක් ලෙස කම්කරු පන්තියට ඉගෙන ගත හැක්කේ තමන්ගේම අත්දැකීම් තුළින් පමණි. ධනවාදය තුළම තම තත්ත්වයන් වැඩි දියුණු කර ගැනීම උදෙසා එදිනෙදා කරන අරගල වලින් තොරව සමාජවාදී විප්ලවයක් කරන ආකාරය සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.නමුත් අවසාන විග්‍රහයේදී, වෘත්තීය සමිති සටන්කාමීත්වය පමණක් ප්‍රමාණවත් නොමැත. ධනේශ්වර අර්බුදය විසින් ඇතිකරන තත්ත්වයන් නිසා කම්කරු පන්තිය දිනාගනු ලබන ජයග්‍රහණ පවා දිගු කල් නොපවතියි.හාම්පුතුන්ගේ දකුණතින් ගිලිහී යන දේ වමතින් ආපසු ලබාගනු ඇත. උද්ධමනය හෝ බදු වැඩි කිරීම මගින් වැටුප් වැඩිවීම අවලංගු කෙරෙයි. කර්මාන්ත ශාලා වැසී යද්දී විරැකියාව ඉහළ යයි.ප්‍රතිසංස්කරණ අවලංගු කිරීම වැළැක්වීමට ඇති එකම ක්‍රමය සමාජය තුළ රැඩිකල් වෙනසක් සඳහා සටන් කිරීමයි. යම් අවස්ථාවකදී, ආරක්ෂාකාරී අරගල ප්‍රහාරක ඒවා බවට පරිවර්තනය විය හැකිය. බලය වෙනුවෙන් වන අවසන් සටනට භූමිය සූදානම් වන්නේ ක්ෂ්ණික ඉල්ලීම් සඳහා වන කුඩා අරගල තුළින් ලබන අත්දැකීම් හරහාය.පක්ෂයේ අවශ්යතාවයසමාජයේ එකම සැබෑ විප්ලවවාදී පන්තිය කම්කරු පන්තියයි. පොහොසත් පරපෝෂිතයන් අතළොස්සකගේ ධනලෝභී ගිජුකම සංසිඳුවීම සඳහා වන නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය සහ මිනිස් ශ්‍රමය සූරාකෑම මත පදනම් වූ පද්ධතියක් අඛණ්ඩව පවත්වාගෙන යාමට කම්කරු පංතියට කිසිඳු වුවමනාවක් නැත.සමාජය වෙනස් කිරීම වෙනුවෙන් කම්කරු පන්තියේ අවිඥානික හෝ අර්ධ සවිඥානක පිරිස සවිඥානික කිරීමට උත්සාහ දැරීම කොමියුනිස්ට්වාදීන්ගේ යුතුකමයි. බැංකුකරුවන්ගේ සහ ධනපතියන්ගේ ආඥාදායකත්වය පෙරලා දැමීමට අවශ්‍ය බලය ඇත්තේ කම්කරු පන්තියට පමණි.කම්කරු පන්තියේ කාරුණික අවසරයකින් තොරව විදුලි බුබුලක් දැල්වෙන්නේ නැති බවත්, රෝදයක් කැරකෙන්නේ නැති බවත්, දුරකථනයක් නාද නොවන බවත් කිසිසේත් අමතක නොකළ යුතුය.ඔවුන් මහා බලයකි. එහෙත් ඔවුන්ට බලය සඳහා ඇත්තේ විභවයක් පමණි. එම විභවය යතාර්ථයක් වීමට නම් තවත් එක් වැදගත් දෙයක් අවශ්‍ය වේ. එනම් සංවිධානාත්මක බවයි.ස්වභාව ධර්මය තුළ මෙයට හරියටම ගැලපෙන සැසඳීමක් පවතී. වාෂ්ප යනු එබඳු එක්තරා බලයකි. එය කාර්මික විප්ලවය සඳහා ජවය සැපයීය. විශාල නගරවලට ජීවය සහ සමෘද්ධිය ගෙන ඒම සඳහා ආලෝකය, උණුසුම සහ ශක්තිය සැපයූ එන්ජින් ධාවනය කළ බලය එයයි.නමුත් වාෂ්ප බලයක් බවට පත්වන්නේ එය පිස්ටන් පෙට්ටියක් නම් යාන්ත්‍රණයක් තුළට ඒකරාශී කළ විට පමණි. එවන් යාන්ත්‍රණයක් නොමැතිව, එය හුදෙක් නිෂ්ඵල ලෙස වායුගෝලයට විසුරුවා හරිනු ලබන තවත් එක් වායුවකි. එයට පවතින්නේ බලය සඳහා හුදු විභවයක් පමණි.නිර්ධන පංති සංවිධානයේ ඉහළම ප්‍රකාශනය විප්ලවවාදී පක්ෂයයි. ඉතාමත් ප්‍රාථමික මට්ටමේදී පවා, සෑම සවිඥානික කම්කරුවෙක්ම වෘත්තීය සමිති සංවිධානයක අවශ්‍යතාවය තේරුම් ගනී. එහෙත් නිර්ධන පංති සංවිධානයේ ඉහලම ප්‍රකාශනය වන්නේ ධනවාදය පෙරලා දැමීමේ අරගලයේදී පන්තියේ වඩාත් සවිඥානික, එයට කැපවෙන සහ සටන්කාමීම ස්ථරය එක්සත් කරන විප්ලවවාදී පක්ෂයයි. එවැනි පක්ෂයක් නිර්මාණය කිරීම අප හමුවේ ඇති වඩාත් කාලීන කාර්යභාරයයි.සවිඥානිකතත්වයවර්ධනය වන ආර්ථික හා සමාජ අස්ථාවරත්වය විසින් පවතින ක්‍රමයේ පදනම් යටපත් කරමින් පවතියි. සෑම රටකම මැතිවරණ තුළදී ප්‍රචණ්ඩකාරී ලෙස දකුණට, වමට සහ වමෙන් දකුණට ආදී වශයෙන් සිදුවන ගාමනයන් පැහැදිලි කරන්නේ කෙසේද?අදූරදර්ශී වාම ප්‍රතිසංස්කරණවාදීන් විසින් කම්කරුවන්ට ඔවුන් තුළ ඇති පසුගාමී බව ගැන චෝදනා කරති. ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට වෙර දරන ආකාරය සහ ඔවුන්ගේ අනර්ථකාරී භූමිකාව වසන් කිරීමට උත්සාහ කරන ආකාරය එයයි. නමුත් මෙයින් පිළිබිඹු වන්නේ බලාපොරොත්තු සුන්බව සහ නිවැරැදි විකල්පයක් නොමැතිකමයි. මහජනතාව බලාපොරොත්තු සුන්ව එයින් මිදීමට මාර්ගයක් සෙවීමට උත්සාහ කරති. තවද ඔවුන් විකල්ප එකින් එක පරීක්ෂා කර බලති. එකකට පසු එකක් ලෙසින් ආණ්ඩු, පක්‍ෂ සහ නායකයින් පරීක්‍ෂාවට ලක් කර ඉවත දමනු ලබයි.මෙම ක්‍රියාවලියේදී, ප්‍රතිසංස්කරණවාදීන් වඩාත් ශෝචනීය භූමිකාවක් ඉටු කරන අතර, වාම ප්‍රතිසංස්කරණවාදීන් ඊටත් වඩා ශෝකජනක භූමිකාවක් ඉටු කරයි. මේ නිසා සවිඥානිකත්වයේ සිදුවන වෙනසක් අපි දකිමු. නමුත් එය යමෙක් බලාපොරොත්තු වන ආකාරයේ සෙමෙන් හා ක්‍රමානුකූලව සිදුවන වෙනසක් නොවේ.ස්වාභාවිකව මෝරා යාමට කාලයක් ගතවන නමුත් ප්‍රමාණාත්මකව සිදුවන වෙනස්කම් අවසානයේ තීරණාත්මක ලක්ෂ්‍යයකට ළඟා වන අතර එක්වරම ප්‍රමාණය ගුණය බවට පත්වේ. සිදුවීම් සියල්ල තුළම විඥානයේ ඇතිවන තියුණු වෙනස්කම් දැකිය හැකිය.විශේෂයෙන්ම තරුණයින් තුළ අප දැන් දකින්නේ හරියටම එවැනි වෙනසකි. බ්‍රිතාන්‍ය තුළ වැඩිහිටියන් 1,000 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන සිදුකළ සමීක්ෂණයකදී “ධනවාදය” සමඟ වැඩිපුරම බද්ධ වී ඇති වචන සහ වාක්‍ය ඛණ්ඩ අනුපිළිවලකට තෝරා ගන්නා ලෙස ඉල්ලා සිටීය.එහි ඉහළටම පැමිණ තිබුණේ, "කෑදරකම" (සියයට 73ක්), “යමක් ළඟාකර ගැනීම වෙනුවෙන් නිරන්තර පීඩනය" (සියයට 70ක්) සහ "දූෂණය" (සියයට 69ක්) ය. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 42ක් “ධනවාදයේදී ධනවතුන් විසින් ආධිපත්‍යය දරයි, ඔවුන් දේශපාලන න්‍යාය පත්‍රය සකස් කරයි” යන වාක්‍ය ඛණ්ඩයට එකඟ විය.තරුණයින් අතර කොමියුනිස්ට් අදහස් කෙරෙහි ඇති නැඹුරුව තුළ මෙම වෙනස වඩාත් පැහැදිලිව ප්‍රකාශ වෙයි. බොහෝ දෙනෙක් කොමියුනිස්ට් ප්‍රකාශනය කියවා නැති අතර ඔවුන්ට විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ දැනුමක් නොතිබුණද මෙම තරුණයින් තමන් කොමියුනිස්ට්වාදීන් ලෙස හඳුන්වා ගනියි.එහෙත් වමේ ඉතිහාසයේ සිදුවී ඇති අනේකවිධ පාවාදීම් නිසා ‘සමාජවාදය’ යන වචනයම ඔවුන්ට ඔක්කාරය ඇති කරයි. එය හොඳම මිනිසුන් අතර තවදුරටත් රැව්-පිළිරැව් නොදෙයි. ඔවුන් පවසන්නේ “අපිට කොමියුනිස්ට්වාදය අවශ්‍යයි. අපට වුවමනා එය පමණක්ම වන අතර ඊට වඩා කිසිවක් නොවේ” යනුවෙනි.කොමියුනිස්ට්වාදියෙක් යනු කවුරුන්ද?කොමියුනිස්ට් ප්‍රකාශනයේ ‘නිර්ධනයෝ සහ කොමියුනිස්ට්වාදියෝ’ යන පරිච්ඡේදයෙන් අපි පහත සඳහන් කරුණු උපුටා දක්වමු.“සමස්ත නිර්ධන පංතියම වෙනුවෙන් කොමියුනිස්ට්වාදීන් පෙනී සිටින්නේ කුමන හේතුවක් නිසා ද?“කොමියුනිස්ට්වාදීන් අනෙකුත් කම්කරු පාන්තික පක්ෂවලට එරෙහිව වෙනම පක්ෂයක් පිහිටුවන්නේ නැත.“ඔවුන්ට සමස්ත නිර්ධන පංතියේ අවශ්‍යතාවලින් වෙන් වූ සහ පරිබාහිර අවශ්‍යතා කිසිවක් නොමැත.“නිර්ධන පංති ව්‍යාපාරය හැඩගස්වා ගැනීම සහ එයට අච්චුවක් තැනීම වෙනුවෙන් ඔවුන් තමන්ගේම නිකායවාදී මූලධර්ම කිසිවක් ඇතිකර නොගනී.“කොමියුනිස්ට්වාදීන් අනෙකුත් කම්කරු පාන්තික පක්ෂවලින් වෙනස්ව පෙනෙන්නේ මෙම කරුණු නිසා පමණි: 1. විවිධ රටවල් තුළ නිර්ධන පංතියේ ජාතික අරගල වලදී, ඔවුන් සියලු ජාතිකත්වයන්ගෙන් ස්වාධීනව සමස්ත නිර්ධන පංතියේ පොදු අවශ්‍යතා පෙන්වා දෙමින් ඒවා පෙරමුණට ගෙන එයි. […]“එබැවින් කොමියුනිස්ට්වාදීන්, එක් අතකින්, ප්‍රායෝගිකව, සෑම රටකම කම්කරු පාන්තික පක්ෂවල වඩාත්ම දියුණු සහ අධිෂ්ඨානශීලී කොටස වන අතර, එම කොටස විසින් අනෙක් සියල්ලන්ව ඉදිරියට තල්ලු කරයි; අනෙක් අතට, න්‍යායාත්මකව ගත් කල, නිර්ධන පන්ති ව්‍යාපාරයේ ඉදිරි ගමනේ පෙළගැස්ම සම්බන්ධවත් එහි කොන්දේසි සහ කම්කරු ව්‍යාපාරයේ අවසාන පොදු ප්‍රතිඵල පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් නිර්ධන පංතියේ අති බහුතර ජනතාවට සාපේක්ෂව ඔවුන්ට ඇත.”ඉහත උපුටා දැක්වීම් විසින් අදාළ කරුණේ හරය ගැන මනා අවබෝධයක් ලබා දෙයි.බොහෝ තරුණ කොටස් කොමියුනිස්ට් ප්‍රකාශනය කියවා නැති වුවද, විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ දැනුමක් නොමැතිව වුවද තමන්ව කොමියුනිස්ට්වාදීන් ලෙස හඳුන්වා ගනියි.මෙය විප්ලවවාදී කොමියුනිස්ට් ජාත්‍යන්තරයකට සුදුසු කාලයද?ඊනියා නිදහස් වෙළඳපොල ආර්ථිකයට එරෙහිව වැඩෙමින් ඇති ගැටුම විසින් ධනවාදයේ ක්ෂමාලාපකයින් මහත් භීතියට පත් කර ඇත. ඔවුන් තැතිගෙන බලා සිටින්නේ අවිනිශ්චිත හා කැළඹිලි සහගත අනාගතයක් දෙසය.පැතිර යන මෙම අශුභවාදයේ මනෝභාවයන් සමඟ, ධනේශ්වරයේ වඩාත් කල්පනාකාරී නියෝජිතයන් විසින් තමන් අපහසුවට පත්වන 1917 පැවති ලෝකය සමඟ වන සමානකම් සොයා ගැනීමට පටන් ගෙන තිබේ. නිවැරැදි සටන් පාඨ සහ පැහැදිලි විප්ලවවාදී ප්‍රතිපත්ති සහිත විප්ලවවාදී පක්ෂයක අවශ්‍යතාවය මතුවන්නේ මෙවන් පසුබිමක් තුළය.අපගේ ව්‍යාපාරයේ ජාත්‍යන්තර ස්වභාවය පැන නඟින්නේ ධනවාදය ගෝලීය සමාජ ආර්ථික පද්ධතියක්ය යන කාරණයෙනි. ආරම්භයේ පටන්ම මාක්ස් උත්සාහ කළේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර සංවිධානයක් නිර්මාණය කිරීමටය.කෙසේ වෙතත්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ (තුන්වන ජාත්‍යන්තරය) ස්ටැලින්වාදී පරිහානියේ සිට, අද දක්වා එවැනි සංවිධානයක් පැවතුනේ නැත. එබැවින් දැන් විප්ලවවාදී කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් දියත් කිරීමට කාලය පැමිණ ඇත!මෙය නිකායවාදී කටයුත්තක් ලෙස ඇතැමුන් දකිනු ඇත. නමුත් මෙය එවැනි දෙයක් නොවේ. කම්කරු ව්‍යාපාරය අද්දර පිල්විහිදුවා ගත් මොනරුන් මෙන් රඟන අති-වාම සහ නිකායවාදී කණ්ඩායම් වලට පොදු ලක්ෂණ කිසිවක් අප තුළ නොමැත.අප නිකායවාදීන්ට පිටුපා කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කරන අලුත් ස්ථර වෙතට අවධානය යොමුකළ යුතුය. එවැනි පියවරක අවශ්‍යතාවය මතුවන්නේ නොඉවසිලිමත්කම හෝ ස්ව්‍යංබද්ධයේ ප්‍රමුඛතාව පිළිබඳ ප්‍රකාශනයක් ලෙසින් නොවේ. එවැනි පියවරක් තැබීම අත්‍යවශ්‍ය සහ නොවැළැක්විය හැකි වන්නේ අන් කිසිවක් නිසා නොව මේ නිසාය.මාක්ස් කම්කරු පන්තියේ ජාත්‍යන්තර සංවිධානයක් නිර්මාණය කිරීමට උත්සාහ කළේය.අපි කරුණු විමසා බලමු:බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ වෙනත් රටවල සිදුකර ඇති නවතම සමීක්ෂණ දත්ත අනුව කොමියුනිස්ට්වාදය පිළිබඳ අදහස වේගයෙන් ලොව පුරා පැතිර යන බවට ඉතා පැහැදිලි සංඥා දැල්වී ඇත. කොමියුනිස්ට්වාදයේ නැඟී ඒම සඳහා ඇති විභවය අතිමහත්ය. අපගේ කාර්යභාරය වන්නේ මෙම විභවයට සංවිධානාත්මක මුහුණුවරක් ලබා දීමෙන් එය යථාර්ථයක් බවට පත් කිරීමයි.සැබෑ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයක් තුළ පෙරටු බළ ඇණිය සංවිධානය කිරීමෙන්, ඔවුන් විනයගරුක බොල්ෂෙවික් සංවිධානයක් සමඟ බද්ධ කිරීමෙන්, මාක්ස්වාදී අදහස් උගන්වා, ලෙනින්ගේ ක්‍රමවේද ඔවුන්ට පුරුදු පුහුණු කිරීමෙන්, අපි ඉදිරියේ පැමිණීමට නියමිත සමාජවාදී විප්ලවයේ උන්නතිය වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකි බලවේගයක් ගොඩනඟමු.අපේ වැඩකොටස වන්නේ එයයි. එය සාක්ෂාත් කර ගැනීම සඳහා අප ඉදිරියේ පවතින සියලු බාධක ජය ගත යුතුය.බොල්ෂෙවික්වාදයට එදිරිව ස්ටැලින්වාදයදීර්ඝ කාලයක් තිස්සේ කොමියුනිස්ට්වාදයේ සතුරන් විශ්වාස කළේ ඔවුන් ඔක්තෝබර් විප්ලවයේ අවතාර සාර්ථකව ඉවත් කර දැමූ බවයි. කොමියුනිස්ට්වාදය මිය ගොස් වළලනු ලැබූ බවට පැවති ඔවුන්ගේ විශ්වාසය, සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු වඩාත් තහවුරු කෙරුණු බවක් පෙනෙන්නට තිබුණි. “සීතල යුද්ධය අවසානය, අපි ජයග්‍රහණය කළෙමු” කියමින් ඔවුහු ප්‍රමෝදයට පත් වූහ.කෙසේ වෙතත්, අපගේ පන්ති සතුරන් විසින් නොකඩවා පුනරුච්චාරණය කරන ලද මෙම පුරාවෘත්තය සත්‍යය නොවන අතර, 1980 ගනන්වල බිඳ වැටුනේ කොමියුනිස්ට්වාදය නොව, -1917 දී ලෙනින් සහ බොල්ෂෙවික්වරුන් විසින් පිහිටුවන ලද කම්කරු පාංතික ප්‍රජාතන්ත්‍රවාදයේ පාලන තන්ත්‍රයට කිසිදු සම්බන්ධයක් නොමැති බිහිසුණු, නිලධාරිවාදී සහ ඒකාධිපති ප්‍රහසන නාට්‍යය වු- ස්ටැලින්වාදයයි.ලෙනින්ගේ මරණයෙන් පසු ඔක්තෝබර් විප්ලවයේ පසුබෑම සිදුවූ කාලපරිච්ඡේදය තුළ බලයට නැඟුණු වරප්‍රසාද ලත් නිලධාරී කුලකයකගේ සහාය ලද ජෝශප් ස්ටාලින් බොල්ෂෙවික්වාදයට එරෙහිව දේශපාලන ප්‍රතිවිප්ලවයක් දියත් කළේය. ඔහුගේ ප්‍රතිවිප්ලවවාදී ආඥාදායකත්වය වඩාත් ශක්තිමත් කරගැනීම සඳහා ස්ටාලින්, ලෙනින් සමඟ සටන් වැදි සියලු සහෝදරවරුන් සහ තවත් සැබෑ කොමියුනිස්ට්වාදීන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීමට දෙවරක් සිතුවේ නැත.ස්ටැලින්වාදය සහ බොල්ෂෙවික්වාදය, එකිනෙක සමාන වනවාට වඩා බොහෝ සෙයින් පරස්පර ප්‍රවාහයන් දෙකකි: ඒවා ලේ ගංගාවකින් වෙන් කරන ලද මාරාන්තික සහ පරම සතුරු කඳවුරු දෙකකි.‘කොමියුනිස්ට්’ පක්ෂවල පරිහානියකොමියුනිස්ට්වාදය ලෙනින්ගේ නම සහ රුසියානු විප්ලවයේ කීර්තිමත් සම්ප්‍රදායයන් සමඟ ශක්තිමත් ලෙස බැඳී තිබුණද වර්තමානයේ ඇති කොමියුනිස්ට් පක්ෂ නමට පමණක් 'කොමියුනිස්ට්' වේ. එම පක්ෂවල නායකයෝ බොහෝ කලකට පෙර ලෙනින් සහ බොල්ෂෙවික්වාදයේ අදහස් අත්හැර දැමූවන්ය.ලෙනින්වාදයෙන් තීරණාත්මක බිඳීමක් ඇති වූයේ තනි රටේ සමාජවාදය නැමැති මාක්ස් විරෝධී නිකායවාදී ප්‍රතිපත්තිය පිළිගැනීමත් සමඟය. මෙමඟින් නොවැලැක්විය හැකි ලෙසම ලෝකයේ සෑම කොමියුනිස්ට් පක්ෂයක්ම ජාතික-ප්‍රතිසංස්කරණවාදී පරිහානියට ලක් වනු ඇතැයි 1928 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් පුරෝකථනය කළේය. කාලයාගේ ඇවෑමෙන් මෙම අනාවැකිය නිවැරදි බව තහවුරු විය.කොමියුනිස්ට්වාදය ලෙනින්ගේ නම සහ රුසියානු විප්ලවයේ තේජාන්විත සම්ප්‍රදායන් සමඟ නොමැකෙන ලෙස සම්බන්ධ වී පවතී. මුලදී, කොමියුනිස්ට් පක්ෂ නායකයෝ කීකරු ලෙස ස්ටාලින්ගේ සහ නිලධරයේ නියෝග ක්‍රියාත්මක කළ අතර, මොස්කව් සිට පැමිණි ඕනෑම නියෝගයක් වහලුන් මෙන් අනුගමනය කළහ. ඔවුන් පසුව ස්ටාලින්ව ප්‍රතික්ෂේප කළ නමුත්, ඔවුන් ආපසු ලෙනින් වෙත පැමිණීම වෙනුවට දකුණට සුක්කානම කැරකැවූහ. මොස්කව් වෙතින් බිඳී යාමේදී, බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ ප්‍රතිසංස්කරණවාදී ඉදිරිදර්ශන සහ ප්‍රතිපත්ති වැළඳගත්හ.‘තනි රටේ සමාජවාදය’ යන මාරාන්තික ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සෑම ජාතික පක්ෂයකම නායකත්වය දැරූ අය තම රටේ ධනේශ්වරයේ අවශ්‍යතාවලට ක්‍රමයෙන් අනුගත විය. මෙය කොමියුනිස්ට් පක්‍ෂ පරිපූර්ණ ලෙස පරිහානියට පත් කිරීමට සහ සම්පූර්ණයෙන්ම විසුරුවාලීමට පවා හේතු වී ඇත.මීට හොඳ ම උදාහරණයක් නම් යුරෝපයේ විශාලතම හා බලවත්ම පක්ෂය වූ ඉතාලි කොමියුනිස්ට් පක්ෂය (PCI) යි. ප්‍රතිගාමී ජාතික-ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්ති අවසානයේ PCI විසුරුවා හැරීමටත් අනතුරුව එය ධනේශ්වර ප්‍රතිසංස්කරණවාදී පක්ෂයක් බවට පරිවර්තනය වීමටත් හේතු විය.වර්තමානයේ බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයෙන් සමාජයට ඇති එකම බලපෑම දිනපතා එළිදක්වන පත්‍රිකාවක් වන මෝනිං ස්ටාර් පමණි, එය වාම ප්‍රතිසංස්කරණවාදයේ ඇල්මැරුණු වැඩපිළිවෙළින් ඔබ්බට ගමන් නොකරයි. කොමියුනිස්ට් පක්ෂ ඇත්ත වශයෙන්ම වෘත්තීය සමිති නිලධාරීවාදයට ඇති වාමාංශික ආවරණයක් පමණි.ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂය (PCE) රුසියාවට එරෙහි නේටෝ යුද්ධයේ කොටස්කරුවෙක් ලෙස යුක්රේනයට ආයුධ යවන සභාග ආන්ඩුවක පංගුකරුවෙකි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, PCE ජනතාව අතර දැඩි ප්‍රතික්ෂේප වීමකට ලක්ව ඇත. එම පක්ෂයේ තරුණ අංශයේ (UJCE) සාමාජිකයන් විසින් එය ප්‍රතික්ෂේප කරන ලද අතර අවසානයේදී එම තරුණයින් ඉන් නෙරපා හරින ලදී.එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂය (CPUSA) හුදෙක් ඩිමොක්‍රටික් පක්ෂය සඳහා වන මැතිවරණ අතකොළුවක් වන අතර, ‘ෆැසිස්ට්වාදයට එරෙහි ඡන්දයක්’ ලෙස බයිඩන්ට ඡන්දය දෙන මෙන් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටීය.දකුනු අප්‍රිකානු කොමියුනිස්ට් පක්ෂය වසර 30ක් තිස්සේ ධනේශ්වර ගැති ANC ආන්ඩුවේ කොටස් කරුවන් වී ඇති අතර, 2012 දී Marikana හි වැඩ වර්ජන දියත් කළ පතල් කම්කරුවන් 34 දෙනෙකු ඝාතනය කිරීම පවා සාධාරණීකරණය කිරීමට කටයුතු කළේය.කොමියුනිස්ට් පක්ෂ මේතාක් සිදුකර ඇති පාවාදීම් වල ලැයිස්තුව නිමක් නැත.කොමියුනිස්ට් පක්ෂවල අර්බුදයලෝක ඉතිහාසයේ මෙම තීරණාත්මක මොහොතේ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත.ලොව පුරා කොමියුනිස්ට් පක්ෂ ගාසා තීරයේ සමූලඝාතනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ‘ජාත්‍යන්තර නීතියට ගරු කරනු’ ලෙස සහ එක්සත් ජාතීන්ගේ, එනම් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යෝජනා පුනරුච්චාරණය කිරීමෙනි.එහෙත්, 2022 පෙබරවාරියේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ අපකීර්තිමත් ලෙස, බොහෝ කොමියුනිස්ට් පක්‍ෂ විසින්, ඒ සම්බන්ධයෙන් තම තමන්ගේ පාලක පන්තියේ ස්ථාවරය දෙසට නැඹුරු වීම ගැඹුරු බෙදීම් ඇති කිරීමට තුඩු දුන්නේය. විශේෂයෙන්ම බටහිර රටවල බොහෝ කොමියුනිස්ට් පක්ෂ, නේටෝව සඳහා ඔවුන්ගේ නිහඬ සහයෝගය ලබාදුන්නේ සාමය, ‘සාකච්ඡා’ යනාදී සාමවාදී ආයාචනා ඉදිරිපත් කරමිනි. ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයන් සමඟ මෙකී තත්ත්වය තවත් නරක අතට හැරී ඇත.නිදසුනක් වශයෙන්, ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය (PCF), වාම මැතිවරණ සන්ධානයෙන් (NUPES) ඉවත් වූයේ එහි නායක මිලෝශෝන් හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට දැක්වීම ප්‍රතික්ෂේප කළ බැවිනි.අනෙක් අන්තයේදී, සමහර පක්ෂ රුසියානු සහ චීන විදේශ ප්‍රතිපත්තියේ අතකොළු බවට පත් වී ඇති අතර, එම රටවල් “අධිරාජ්‍යවාදී යටත් විජිතකරණයෙන් සහ ණය වහල්භාවයෙන් මිදීම උදෙසා” වන දුර්වල සහ යැපෙන ජාතීන්ගේ අරගලයේදී ප්‍රගතිශීලී මිත්‍ර රාජ්‍යයන් ලෙස ඉදිරිපත් කරයි.රුසියානු සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂය (CPRF) අතිශය පසුගාමී තැනක සිටියි. ඊට කොමියුනිස්ට් තබා ස්වාධීන පැවැත්මක් හෝ නැත. බොහෝ කලකට පෙර සුගනොව්ගේ පක්ෂය පුටින්ගේ ප්‍රතිගාමී පාලනයේ අනුගාමික කඳවුරක් බවට පත් විය.මෙම ප්‍රතිවිරෝධතා බෙදීම් මාලාවකට තුඩු දී ඇත. 2023 දී හවානා හි පැවති කොමියුනිස්ට් සහ කම්කරු පක්ෂවල ජාත්‍යන්තර රැස්වීමකදී (IMCWP) යුක්රේන යුද්ධය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට පවා අසමත් වූයේ එයට ‘සම්මුතියකට’ එළැඹීමට නොහැකි වූ බැවිනි.ග්‍රීක කොමියුනිස්ට් ව්‍යාපාරයේ (KKE) අර්බුදය එහි භූමිකාවපහළ මට්ටමේ බොහෝ කොමියුනිස්ට් කම්කරුවන් මෙම නිර්ලජ්ජිත සංශෝධනවාදයට එරෙහිව ප්‍රතිචාර දක්වා ඇත. ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය (KKE) නිසැකවම අවධි දෙකේ විප්ලවය පිළිබඳ පැරණි අපකීර්තිමත් ස්ටැලින්වාදී-මෙන්ෂෙවික් අදහස ප්‍රතික්ෂේප කිරීමේ වැදගත් පියවර ගෙන ඇත. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් නිවැරදි ජාත්‍යන්තරවාදී ස්ථාවරයක් ගනිමින් එය අන්තර්-අධිරාජ්‍යවාදී ගැටුමක් ලෙසට දැක්වීය.KKE විසින් ග්‍රීක වරායන්ගේ සිට යුක්‍රේනයට ආයුධ නැව්ගත කිරීම වර්ජනය කිරීම සඳහා කම්කරු ව්‍යාපාරයක් මෙහෙයවීය. මෙය සියලු සැබෑ කොමියුනිස්ට්වාදීන් විසින් අනුමත කරනු ඇත. එහි පැහැදිලි විශාල වැදගත්කමක් ඇති නමුත්, ග්‍රීක කොමියුනිස්ට්වාදීන් විසින් පූර්ණ ප්‍රගතියක් ලබා ඇති බව නිගමනය කිරීමට හදිසි නොවිය යුතුය.විශේෂයෙන්ම, තනි රටේ සමාජවාදය නම් මාක්ස්වාදයට පටහැනි න්‍යායෙන් සම්පූර්ණයෙන්ම බිඳී ලෙනින්වාදී එක්සත් පෙරමුණක් සඳහා වන ප්‍රවේශයක් අනුගමනය කිරීම අවශ්‍ය වේ.KKE යුක්රේන යුද්ධය අන්තර්-අධිරාජ්‍යවාදී ගැටුමක් බවට වන ආස්ථානය පිළිගන්නා අනෙකුත් කොමියුනිස්ට් පක්ෂ සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ කරයි. එය නිවැරදි පියවරකි. කෙසේ වෙතත්, සාර්ථකත්වය සඳහා පූර්ව කොන්දේසිය වන්නේ ලෝව පුරා සිටින සියලුම අව්‍යාජ කොමියුනිස්ට් ප්‍රවනතාවන් එකට එක් වී විවෘත හා ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් සිදු කිරීමයි.සංවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ‘සම්මුතියේ’ පදනම් මත පිහිටා, ලෙනින්ගේ අදහස් සහ විධික්‍රම මත පදනම් වන සැබෑ කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් ප්‍රතිනිර්මාණය කිරීම කළ නොහැක්කකි.බියගුලු සංශෝධනවාදයෙන් බිඳී ලෙනින්ගේ ධජය වැලඳ ගනිමින් කම්කරු ව්‍යාපාරය එහි සැබෑ මූලාරම්භය වෙත ආපසු ගෙන ඒම අපගේ කාර්යභාරයයි. මේ සඳහා, මෙම අරමුණ බෙදා ගන්නා ඕනෑම පක්ෂයකට හෝ සංවිධානයකට අපි මිත්‍රත්වයේ හස්තය දිගු කරමු.ට්‍රොට්ස්කි ජාත්‍යන්තර වාම විරුද්ධ පාර්ශවය දියත් කළ විට ඔහු අපේක්ෂා කළේ එය ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ වාම විරුද්ධ පාර්ශවය විය යුතු බවයි. අපි සැබෑ කොමියුනිස්ට්වාදීන් වෙමු - අපි බොල්ෂෙවික්-ලෙනින්වාදීන් වෙමු - ස්ටාලින් විසින් නිලධාරිවාදී අයුරින් කොමියුනිස්ට් ව්‍යාපාරයෙන් ඉවත් කරන ලද කොමියුනිස්ට්වාදීන් අපි වෙමු.ඔක්තෝම්බරයේ රතු ධජය සහ සැබෑ ලෙනින්වාදය පවත්වා ගැනීමට අප සැම විටම සටන් කර ඇති අතර, දැන් අප ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඒකාබද්ධ කොටසක් ලෙසට අපට හිමි ස්ථානය නැවත ලබා ගත යුතුය.අවසාන වශයෙන් ස්ටැලින්වාදයේ අවශේෂ කුණුකන්දල් වලින් බිඳී වෙන්ව ලෙනින්වාදයේ ශක්තිමත් පදනම මත නිර්මාණය වූ කල් පවත්නා කොමියුනිස්ට් එකමුතුවක් සඳහා පසුබිම සකස් කරදෙන, අතීතය පිළිබඳව වන අවංක සාකච්ඡාවක් අපගේ ව්‍යාපාරය තුළ ආරම්භ කිරීමට කාලය එළඹ තිබෙයි.සංශෝධනවාදය පිටු දකිමු!සටන තුළ සියලු කොමියුනිස්ට්වාදීන්ගේ එක්සත්කම !නැවතත් ලෙනින් කරා!ලෙනින්ගේ ප්රතිපත්තියබහු ජනතාව දිනා ගැනීම අපගේ ආසන්නතම අරමුණ නොවේ. එය අපගේ වර්තමාන හැකියාවන්ගෙන් සම්පූර්ණයෙන් ඔබ්බෙහි පවතින්නකි. අපගේ ඉලක්කය වන්නේ වඩාත්ම දියුණු සහ පන්ති සවිඥානික කොටස් අප වෙත දිනා ගැනීමයි. බහු ජනයා වෙත ප්‍රවේශ වීමට මාර්ගයක් සාදාගත හැක්කේ මේ ආකාරයෙන් පමණි. නමුත් ජනතාව වෙත අපගේ ප්‍රවේශය පිළිබඳ එතරම් සැහැල්ලුවෙන් සැළකීමට නොහැකිය.බලය ලබා ගැනීමට පෙර, මුලින්ම බොල්ෂෙවික්වරුන්ට ජනතාව දිනා ගත යුතු බව ලෙනින් තේරුම් ගත්තේය.නව පරම්පරාවේ කම්කරුවන් සහ තරුණයින් ධනවාදයේ අවුල් ජාලයෙන් මිදීමට මඟක් සොයමින් සිටී. එකම විසඳුම සමාජවාදී විප්ලවයේ මාවතට පිවිසීම බව හොඳම කොටස් දැනටමත් තේරුම් ගෙන ඇත.ඔවුන් තමා ඉදිරියේ ඇති ගැටළු වල ස්වභාවය තේරුම් ගැනීමට පටන් ගෙන ඇති අතර රැඩිකල් විසඳුම්වල අවශ්‍යතාවය ක්‍රමයෙන් අවබෝධ කර ගැනීමට පටන් ගනියි. නමුත් ඔවුන්ගේ නොඉවසිලිමත්කම හේතුවෙන් ඔවුන් වැරදි කිරීමට පෙළඹීමට හැකිය.අවශ්‍ය වන්නේ විප්ලවවාදී සටන් පාඨවලින් කම්කරු පන්තියට දමා ගැසීම නම්, කොමියුනිස්ට්වාදීන්ගේ කාර්යය ඉතා සරල වනු ඇත. නමුත් එය සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් නොවන අතර නිෂ්ඵල වීමට පවා පුළුවන.කම්කරු පන්තියට ඉගෙන ගත හැක්කේ තම අද්දැකීම් තුළින් පමණි, විශේෂයෙන්ම දැවැන්ත සිදුවීම් තුළින් ලබාගන්නා අත්දැකීම් හරහාය. සාමාන්‍යයෙන් ඔවුන් ඉගෙන ගන්නේ සෙමින්ය - බොහෝ විප්ලවවාදීන්ට මෙය ඉතා අඩු වේගයක් වන අතර ඔවුන් නොඉවසිලිමත්කමේ සහ කලකිරීමේ බලපෑමට නතු වෙති.බොල්ෂෙවික්වරුන් බලය අල්ලා ගැනීමට පෙර, ඔවුන් මුලින්ම ජනතාව දිනා ගත යුතු බව ලෙනින් තේරුම් ගත්තේය. මේ වෙනුවෙන් උපක්‍රමවල ඉතා නම්‍යශීලී බවක් පැවතීම අත්‍යාවශ්‍ය වේ. ලෙනින් සෑම විටම විප්ලවවාදීන්ට ඉවසිලිවන්තව සිටීමට නිර්දේශ කළේය: 1917 විප්ලවයේ මහා ගිණි ජාලා අතරතුර පවා බොල්ෂෙවික්වරුන්ට ඔහුගේ උපදෙස් වූයේ “ඉවසිල්ලෙන් පැහැදිලි කරන්න” යන්නයි.කම්කරු පන්තියේ සැබෑ අත්දැකීම් මත පදනම්ව සකස් කළ යුතු උපක්‍රම ග්‍රහණය කර ගැනීමකින් තොරව විප්ලවවාදී ව්‍යාපාරය ගොඩනැගීම පිළිබඳ කරන සියලු කතා නිෂ්ඵලය: එය තලයක් නැති පිහියක් වැනිය.මූලෝපාය සහ උපාය පිළිබඳ ගැටලු කොමියුනිස්ට්වාදීන්ගේ අවධානයට ලක් විය යුතු ප්‍රධාන කාරණයක් වන්නේ එබැවිනි. ලෙනින් සහ ට්‍රොට්ස්කි යන දෙදෙනාටම කොමියුනිස්ට් පෙරටු බල ඇණිය බහුජන ප්‍රතිසංස්කරණවාදී සංවිධාන සමඟ පවත්වාගත යුතු සම්බන්ධය ගැන ඉතා පැහැදිලි අදහසක් තිබුණි.විප්ලවවාදී උපක්‍රම පිලිබඳව ලෙනින්ගේ නිශ්චිත ප්‍රකාශය තුළ ඔහු මේ පිළිබඳව සාරාංශගත කරන ලදී: වාමාංශික කොමියුනිස්ට්වාදය, ළදරු වළිප්පුවකි කෘතියෙහි ඔහු මේ බව දැක්වීය. සියවසකට වැඩි කාලයකට පසුව, අද දවසේදී මෙම වැදගත් විෂය පිළිබඳ ලෙනින්ගේ ලේඛන ව්‍යාජ ට්‍රොට්ස්කිවාදී නිකායවාදීන් සඳහා මුද්‍රා හතක් තැබූ පොතක් ලෙස පවතී.ඔවුන් සෑම තැනකදීම ට්‍රොට්ස්කිවාදයේ ධජය අපකීර්තියට පත් කර ඇති අතර නිලධාරීවාදයේ චිරස්ථිතිය උදෙසා අමිල සේවාවක් සපයා ඇත. ඔවුන් සිතා සිටින්නේ බහුජන සංවිධාන හුදෙක් පුරාතන යල් පැන ගිය දෙයක් ලෙසට කපා හැරිය හැකි බවයි. බහුජන සංවිධාන කෙරෙහි ඔවුන්ගේ ආකල්පය, පාවාදීම් පිලිබඳ ගර්හාවෙන් යුතු හෙලාදැකීම් වලට පමණක් සීමා වී ඇත. නමුත් මෙබඳු උපක්‍රම කෙලින්ම ඔවුන්ව අබලන් වූ පටු පාරකට යොමු කරයි.ප්‍රතිසංස්කරණවාදීන්ගේ බලපෑමට යටත්ව සිටින කම්කරු ජනතාව සමඟ කොමියුනිස්ට්වාදීන් සම්බන්ධකම් තනා ගැනීමේ අවශ්‍යතාවය තේරුම් ගත් ලෙනින්ගේ සහ ට්‍රොට්ස්කිගේ නම්‍යශීලී ක්‍රම සමඟ මෙකී ව්‍යාජ ට්‍රොට්ස්කිවාදීන්ට කිසිම පොදු ලක්ෂණයක් නොමැත.අප මෙම වඳ නිකායවාදයට ස්ථිර වශයෙන් පිටුපා කම්කරු පන්තිය දෙසට නිර්භීතව මුහුණ දිය යුතුය. ජනතාවට කොමියුනිස්ට් ප්‍රතිපත්ති ඉවසිලි සහගතව පැහැදිලි කිරීමෙන් සහ ප්‍රතිසංස්කරණවාදී නායකයින් වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිසංස්කරණවාදී කම්කරුවන් ක්‍රම ක්‍රමයෙන් කොමියුනිස්ට්වාදයට දිනා ගත හැකිය."සියලු බලය සෝවියට් සභා වෙත"1917 දී, ලෙනින් "සියලු බලය සෝවියට් සභා වෙත" යන සටන් පාඨය ඉදිරිපත් කළේ කම්කරුවන් සහ සොල්දාදුවන් බහුතරය නියෝජනය කළ සංවිධාන සියල්ලම පාහේ ප්‍රතිසංස්කරණවාදී මෙන්ෂෙවික්වරුන්ගේ සහ සමාජ විප්ලවවාදීන්ගේ පාලනය යටතේ පැවති අවධියක බව සඳහන් කිරීම ප්‍රමාණවත්ය.මෙම සටන් පාඨයත් සමඟින් ලෙනින් සෝවියට් සභා තුළ සිටි ප්‍රතිසංස්කරණවාදී නායකයින්ට මෙසේ කීවේය: “හොඳයි මහත්වරුනි. ඔබට බහුතරය ඇත. අපි යෝජනා කරන්නේ ඔබ බලය ඔබේ අතට ගෙන ජනතාවට අවශ්‍ය දේ - සාමය, පාන් සහ ඉඩම් ජනතාවට ලබා දෙන ලෙසයි. ඔබ මෙය කරන්නේ නම්, අපි ඔබට සහාය දෙන්නෙමු, එවිට සිවිල් යුද්ධය මග හැරෙනු ඇති අතර බලය සඳහා වන අරගලය සෝවියට් සභා තුළ බලය වෙනුවෙන් කෙරෙන සාමකාමී අරගලයක් දක්වා අඩු වෙනු ඇත.නිවට ප්‍රතිසංස්කරණවාදී නායකයින්ට බලය ලබාගැනීමේ උවමනාවක් තිබුණේ නැත. ඔවුන් ධනේශ්වර තාවකාලික ආන්ඩුවට යටත් වූ අතර, එය අනෙක් අතට අධිරාජ්‍යවාදයට හා ප්‍රතිගාමීත්වයටද යටත් විය. සෝවියට් දේශයේ කම්කරුවන් සහ සොල්දාදුවන්ට තම නායකයින්ගේ ද්‍රෝහී ස්වභාවය ඇස් පනා පිටම දැක ගැනීමට හැකි වූ අතර සියල්ලෝම බොල්ෂෙවික්වාදය දෙසට හැරුනි.1917 පෙබරවාරියේදී ආසන්න වශයෙන් සාමාජිකයින් 8,000 කින් පමණ යුත් කුඩා පක්ෂයක් ඔක්තෝබර් විප්ලවයට ආසන්න කාලයේ දී සෝවියට් සංගමයේ බහුතරය දිනාගත හැකි මහා බලවේගයක් බවට පත් කිරීමට බොල්ෂෙවික්වරුන්ට හැකි වූයේ එවැනි ක්‍රමවේද හරහා පමණි.මේ සියල්ලටම වඩා, යතාර්ථය පිළිබඳ මනා අවබෝධයක් පවත්වා ගැනීම අද අපට අවශ්‍ය වේ. අපගේ පාලනයෙන් ඔබ්බෙහි පැවති ඓතිහාසික බලවේග විසින්, කොමියුනිස්ට්වාදයේ සැබෑ සේනාංක අපගෙන් ඈත් කර දමා දමා ඇත. කම්කරු පන්ති ව්‍යාපාරය තුළ අප සුළුතරයක් තුළ සුළුතරයක් දක්වා පහත වැටී ඇත.අපට නිවැරදි අදහස් ඇතත් අපගේ අදහස් නිවැරදි හා අවශ්‍ය ඒවා බව කම්කරු පන්තියේ බහුතරයකට තවමත් ඒත්තු ගැන්වී නොමැත. බොහෝ දුරට, ඔවුන් සාම්ප්‍රදායික ප්‍රතිසංස්කරණවාදී සංවිධානවල බලපෑමට යටත්ව සිටීමේ සරල හේතුව නම්, එම සංවිධානවල නායකයින් අර්බුදයෙන් මිදීමට පහසු සහ වේදනා රහිත මාර්ගයක් ලෙස පෙනෙන දෙයක් ඔවුන්ට ලබා දීමයි.යතාර්ථයේදී, ඔවුන්ගේ එම මාර්ගය තවදුරටත් පරාජයන්, බලාපොරොත්තු සුන්වීම් සහ දුක්ඛිතබව කරා කම්කරු පන්තිය කැඳවාගෙන යනු ඇත. කොමියුනිස්ට්වාදීන්ට කිසිදු තත්ත්වයක් යටතේ කම්කරු පන්තිය ප්‍රතිසංස්කරණවාදී පන්ති ද්‍රෝහීන්ගේ සහ නිලධාරීන්ගේ අනුකම්පාවට බඳුන්වීමට ඉඩදී අත් හැරිය නොහැකිය. ඒ වෙනුවට අප ප්‍රතිසංස්කරණවාදීන්ට එරෙහිව නොසැලෙන අරගලයක් කළ යුතුය. එහෙත් කම්කරු පන්තිය ප්‍රතිසංස්කරණවාදයේ වේදනාකාරී පාඩම් ඉගෙන ගැනීමට යාම වැළැක්විය හැකි ක්‍රමයක් මේ මොහොතේ නැත.අපගේ කර්තව්‍යය වන්නේ පැත්තක සිට ඔවුන්ට වෙඩි තැබීම නොව, 1917 දී බොල්ෂෙවික්වරුන් කළාක් මෙන් පාඩම් උකහා ගැනීමට සහ ඉදිරි මාවත සෙවීමට ඔවුන්ට උපකාර කරමින් ඔවුන් සමඟ අත්වැල් බැඳගෙන ඔවුන් සමඟ අත්දැකීම් ලබා ගැනීමයි.කම්කරුවන් වෙතට පාලමක් ගොඩනඟමු!අපි කම්කරු පන්තිය සමඟ සංවාදයක් ගොඩනඟාගත යුතු අතර, ඔවුන්ට අපව පෙනිය යුත්තේ පිටස්තරයන් හෝ සතුරන් ලෙස නොව, අප කාගේත් පොදු සතුරා වන ප්‍රාග්ධනයට එරෙහි අරගලයේ සහෝදරයන් ලෙසය. වචනයෙන් නොව ක්‍රියාවෙන් කොමියුනිස්ට්වාදයේ උසස් බව අපි ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුය.ප්‍රතිසංස්කරණවාදයේ බලපෑමට යටත්ව සිටින කම්කරුවන් අතර අවධානයක් ලබා ගැනීමට හැකි ක්‍රම සහ විධි අප සෙවිය යුතුය. කොමියුනිස්ට්වාදීන්ව පහළ මට්ටමේ කම්කරු ජනයාගෙන් හුදකලා කිරීමට නිලධරය සෑම කූට උපක්‍රමයක්ම භාවිතා කරනු ඇත. තහනම් කිරීම්, නෙරපා හැරීම්, බොරු, අපහාස, උපහාස සහ සියලු ආකාරයේ ප්‍රහාර අපවෙත එල්ල වනු ඇත. නමුත් කොමියුනිස්ට්වාදීන් සෑම විටම මෙම බාධක ජය ගැනීමට ක්‍රම සහ විධි සොයති. කම්කරු සංවිධානවල නායකත්වය සොරාගත් මෙකී නිලධාරි තන්ත්‍රයට කොමියුනිස්ට්වාදීන් කම්කරු පංතිය වෙත ලඟාවීම වැළැක්විය නොහැක.නිශ්චිතවම අපගේ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ ලෙනින්ගේ උපදෙස් හා කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු සම්මේලන හතරේ අදහස් මතය. නිශ්චිත සමාජ කොන්දේසි මත සුදුසු උපාය-උපක්‍රම තීරණය කිරීම සඳහා වන ස්වර්ණමය රීතියක් නොමැත. මෙය මූලධාර්මික ගැටලුවක් නොව ප්‍රායෝගික ගැටලුවකි. ලෙනින් සෑම විටම උපාය උපක්‍රම සම්බන්ධයෙන් නම්‍යශීලී ආකල්පයක් දැරීය. 1914 දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බිඳී යාම වෙනුවෙන් ඔහු නොවැළැක්විය හැකි ලෙස පෙනී සිටියේය. (1920දී) බ්‍රිතාන්‍යයේ ස්වාධීන කොමියුනිස්ට් පක්ෂයක් පිහිටුවීම සඳහා සහාය ලබා දුන් ලෙනින්ම, තමන්ගේ වැඩපිළිවෙල, සටන්පාඨ සහ ප්‍රතිපත්ති නොකඩවා පවත්වා ගනිමින්, ලේබර් පක්ෂයට අනුබද්ධ වීමට ඉල්ලුම් කරන්නැයි යෝජනා කළේය.ඇතැම් කොන්දේසි යටතේ, වමට බර කම්කරුවන් ස්ථිරසාර ලෙස විප්ලවවාදී ස්ථාවරයකට දිනා ගැනීම වෙනුවෙන් අපගේ සියලු සේනාංක ප්‍රතිසංස්කරණවාදී සංවිධාන තුළට යැවීමට අවශ්‍ය විය හැකිය.කෙසේ වෙතත්, වත්මන් අවධියේදී එවැනි අවශ්‍යතාවක් පැන නොනඟී. එවැන්නක් සඳහා වන කොන්දේසි නොපවතී. නමුත් සෑම විටම, අප කම්කරු පන්තිය වෙතට මාර්ගයක් සොයා ගැනීම අත්‍යාවශ්‍ය වේ. එය උපක්‍රම පිළිබඳ ගැටළුවක් පමණක් නොව, කොමියුනිස්ට් පෙරටු බළ ඇණියේ ජීවිතයත් මරණයත් පිළිබඳ ගැටළුවකි.කොමියුනිස්ට්වාදීන්, ස්වාධීන පක්ෂයක් ලෙස කටයුතු කරන අතරතුර පවා, බහු ජනතාව වෙත යොමුවීමේ මාර්ගයක් සොයා ගැනීම සඳහා, හැකි සෑම තැනකම එක්සත් පෙරමුණු උපාය අනුගමනය කරමින්, කම්කරු පන්තියේ බහුජන සංවිධානවලට මුහුණ දීමට බැඳී සිටිති. මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ අදහස් හා විධික්‍රම ගැන යන්තමින් පවා දන්නා ඕනෑම කෙනෙකුට මේවා හෝඩියේ මුල් අකුරු බඳුය.නිශ්චිතවම අපගේ ප්‍රතිපත්ති පදනම් වී ඇත්තේ ලෙනින්ගේ උපදෙස් සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පළමු සම්මේලන හතරේදී ඉදිරිපත් වූ ලේඛන මතය. අපගේ නිකායවාදී විචාරකයන්ට මේවා නොතේරෙන්නේ නම් එය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ අවාසනාවන්තකමයි.අපි සටන් කරන්නේ කුමක් සඳහාද?හරයාත්මකව, කොමියුනිස්ට්වාදීන්ගේ අරමුණු පොදුවේ කම්කරුවන්ගේ අරමුණුවලට සමානය. කුසගින්න සහ නිවාස නොමැතිකම සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා අපි පෙනී සිටිමු; කම්කරුවන්ට වඩා යහපත් ජීවන කොන්දේසි දිනාගැනීම සඳහා; වැඩ සතිය බොහෝ අඩු කිරීම තුළින් කම්කරුවන්ට වැඩි නිදහස් කාලයක් දිනා දීම සඳහා; සහතික වශයෙන්ම උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් දිනා දීම සඳහා; අධිරාජ්‍යවාදය සහ උන්ගේ යුද්ධයේ භීෂණය අවසන් කිරීම සඳහා සහ අපගේ පෘථිවිය මත ධනපතීන් සිදුකරන උමතු විනාශය නවතාලීම සඳහා අපි පෙනී සිටින්න්නෙමු !එහෙත්, ධනේශ්වර අර්බුදයේ කොන්දේසි යටතේ, මෙම අරමුණු සාක්ෂාත් කරගත හැක්කේ නොසැලෙන අරගලයක් දියත් කිරීම තුළින් පමණක් බවත්, මෙය අවසානයේ සාර්ථක විය හැක්කේ, අසාධාරණ ලෙස ගොඩගසාගත් බැංකුකරුවන් සහ ධනපතියන්ගේ ධනස්කන්ධය අත්පත් කර ගැනීම කරා අරගලය ගෙන ගිය විට පමණක් බවත් අපි පෙන්වා දෙන්නෙමු. ට්‍රොට්ස්කි සංක්‍රාන්තික ඉල්ලීම් පිලිබඳ අදහස වර්ධනය කලේ මේ හේතුව නිසාය.කම්කරු පන්තියේ සෑම අරගලයකදීම කොමියුනිස්ට්වාදීන් උපරිම ශක්තියෙන් ඊට මැදිහත් වනු ඇත. ව්‍යාපාරය තුළ කොමියුනිස්ට්වාදීන් මතු කරන සංයුක්ත ඉල්ලීම්, ඇත්ත වශයෙන්ම, වෙනස්වන තත්ත්වයන්ට අනුකූලව අවස්ථාවෝචිතව වෙනස් වන අතර, ඒ ඒ රටවල තත්ත්වයන් අනුව ඒවායේ වෙනස්කම් පවතිනු ඇත. එබැවින්, සකස් කරන ලද ඉල්ලීම් ලැයිස්තුවක් මේ ආකාරයේ ප්‍රකාශනයක් තුළ අඩංගු නොවනු ඇත.කෙසේ වෙතත්, සෑම රටකම කොමියුනිස්ට්වාදීන් සංයුක්ත ඉල්ලීම් සම්පාදනය කළ යුතු ආකාරය 1938 දී ලියෝන් ට්‍රොට්ස්කි විසින් ඉතා විශිෂ්ට අන්දමින් සූත්‍රගත කරන ලද අතර හතරවන ජාත්‍යන්තරයේ පදනම් ලේඛනය වශයෙන් එය එළිදක්වා ඇත; ධනවාදයේ මරලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍ය - හෝ සංක්‍රාන්තික වැඩපිලිවෙල යන නම් වලින් එය හැඳින්වෙන අතර බොහෝ දෙනා අතර ඉහත සඳහන් කළ දෙවන නමින් එය ප්‍රසිද්ධය.ධනේශ්වර පරිහානියේ කාලපරිච්ඡේදය තුළ, ජීවන තත්වයන් වැඩිකර ගැනීම සඳහා වන ඕනෑම බරපතල අරගලයක් අනිවාර්යයෙන්ම "ධනේශ්වර දේපල සබඳතාවල සහ ධනේශ්වර රාජ්‍ය සීමාවන් ඉක්මවා" යන බව ට්‍රොට්ස්කි පැහැදිලි කළේය.ට්‍රොට්ස්කි විසින් එම ලේඛනයේ ඉදිරිපත් කර ඇති ඉල්ලීම්, ලෙනින් සහ බොල්ෂෙවික්වරුන් විසින් දියත් කරන ලද වැඩ කොටසෙහි සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පළමු සම්මේලන හතරේදී ප්‍රකාශනයට පත් කළ නිබන්ධන හා ලේඛනවල සාරාංශයකි.සංක්‍රාන්තික ඉල්ලීම් පිළිබඳ මූලික අදහස සරලව මෙසේ ප්‍රකාශ කළ හැකිය. ධනේශ්වරය ප්‍රතික්ෂේප වන කාල පරිච්ඡේදය තුළ, වඩා යහපත් ජීවන තත්වයන් උදෙසා හටගන්නා ඕනෑම වැදගත් අරගලයක් නොවැලැක්විය හැකි අන්දමින් “ධනවාදී දේපල සබඳතාවල සහ ධනේශ්වර රාජ්‍යයේ සීමාවන්ගෙන් ඔබ්බට” යන බව ට්‍රොට්ස්කි පැහැදිලි කලේය.යුද්ධයකදී ආරක්ෂාකාරී ලෙස සිදුවන සටන් පසුව ප්‍රහාරාත්මක ඒවා බවට පරිවර්තනය වන ආකාරයටම, පන්ති අරගලයේදීද ආසන්න ඉල්ලීම් වෙනුවෙන් වන අරගලයක්, යම් යම් තත්ත්වයන් යටතේ, පංති සවිඥානිකත්වයේ විශාල පිම්මකට සහ බලය සඳහා වන විප්ලවවාදී අරගලයක් කරා ගමන් කළ හැකිය.අවසාන විග්‍රහයේ දී, ධනේශ්වර පාලනය පෙරලා දැමීම හා ඒකාබද්ධ නොවන්නේ නම්, දිනාගන්නා ලද කිසිදු ප්‍රතිසංස්කරණයකට සදා කල් පවත්නා ස්වභාවයක් අත්පත් කරගත නොහැක.කොමියුනිස්ට්වාදීන් සමස්ත කම්කරු පන්තියේ පරිපූර්ණ විමුක්තිය උදෙසා, මර්ධනයෙන් සහ සූරාකෑමෙන් නිදහස් වීම සඳහා සටන් කරයි. අපට මෙය සාක්ෂාත් කරගත හැක්කේ ධනේශ්වර රාජ්‍යය යාන්ත්‍රණය විනාශ කිරීම, ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයන් අත්පත් කර ගැනීම සහ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ කළමනාකරණය යටතේ සමාජවාදී සැලසුම් හඳුන්වා දීමෙන් පමණි.මේ මත මුළුමහත් මානව වර්ගයාගේම අනාගතය රඳා පවතී. ශ්‍රේෂ්ඨ අයර්ලන්ත මාක්ස්වාදියෙකු වූ ජේම්ස් කොනොලිගේ වචන අනුව:"අපගේ ඉල්ලීම් අතරින් වඩාත්ම අන්තයට නොයන ඉල්ලීම නම්, අපට අවශ්‍ය වන්නේ පෘථිවිය පමණි.”කොමියුනිස්ට්වාදය මනෝරාජික අදහසක්ද?ධනවාදයේ රැකවලුන්ගේ අවසාන රැකවරණය වන්නේ ඔවුන්ගේ බංකොලොත් ක්‍රමයට විකල්ප ක්‍රමයක් මිහිපිට තවත් නොමැති බව පැවසීමයි. නමුත් හොඳ සිහියෙන් ජීවත් වෙන කෙනෙකුට මේ කියමන විශ්වාස කළ හැකිද?වර්තමාන බිහිසුණු තත්ත්වයට සාපේක්ෂව උසස් සමාජ ආර්ථික පද්ධතියක් පිළිබඳ පරිකල්පනය කර ගැනීමට මානව වර්ගයාට නොහැකි බව ඇත්ත වශයෙන්ම සත්‍යයක් විය හැකිද? එවැනි විකාර ප්‍රකාශයක් තුළින් අදහස් කරන්නේ අප මානව වර්ගයාගේ බුද්ධියට එරෙහිව සිදුකරන දරුණු අපහාසයකි.බැංකුකරුවන්ගේ සහ ධනපතියන්ගේ ආඥාදායකත්වය අහෝසි කිරීම හරහා බිලියනපතියන් අතලොස්සකගේ ධනලෝභී ගිජුකම සංසිඳුවීම සඳහා නොව මනුෂ්‍ය සංහතියේ අවශ්‍යතා සපුරාලීම සඳහා තාර්කිකව සැලසුම් කළ ආර්ථිකයක් නිර්මාණය කිරීමට ඉඩ සලසයි.බැරෑරුම් ලෙස සිතන ඕනෑම කෙනෙකුට විසඳුම දැන් පැහැදිලිය. තවද එය දැන් අපට අවබෝධ කරගත හැකිය. කුසගින්න, දරිද්‍රතාවය, යුද්ධ සහ ධනවාදයේ අනෙකුත් සියලුම ලෙඩරෝග තුරන් කර මනුෂ්‍ය වර්ගයාට ජීවත් වීමට සුදුසු ලෝකයක් නිර්මාණය කිරීමට ඇති එකම මාර්ගය එයයි.කොමියුනිස්ට්වාදයේ සතුරන් තර්ක කරන්නේ මෙය මනෝරාජික අදහසක් බවයි. මෙම චෝදනාවේ උපහාසාත්මක බවක් ගැබ්ව තිබෙයි. මනෝරාජික යනු නිශ්චිත වශයෙන්ම, එහි ප්‍රයෝජනය ඉක්මවා ගිය සමාජ-ආර්ථික පද්ධතියකි, එහි සජීවී පැවැත්මම සමාජයේ සැබෑ අවශ්‍යතාවලට දැඩි ලෙස පටහැනිව පවතින්නකි. එවැනි ක්‍රමයකට පැවැත්මට අයිතියක් නැති අතර එය ඉතිහාසයේ කුණු බක්කියට විසිකර දැමීමට නියමිතය.කොමියුනිස්ට්වාදය තුළ මනෝරාජික කිසිවක් නැත. එම කියමනේ විරුද්ධාර්ථය සත්‍යය. නව්‍ය සහ උසස් මානව සමාජයක් සඳහා වන ද්‍රව්‍යමය කොන්දේසි දැනටමත් ලෝක පරිමාණයෙන් පවතින අතර ඒවා වේගයෙන් මෝරා යමින් පවතී.විද්‍යාවේ සහ තාක්‍ෂණයේ දැවැන්ත දියුණුව විසින් අපට දරිද්‍රතාවයෙන්, නිවාස නොමැතිකමෙන් සහ කුසගින්නෙන් තොර ලෝකයක් පිළිබඳ සිත් ඇදගන්නා සුළු මනරම් සිතුවමක් ඉදිරිපත් කරයි. කෘතිම බුද්ධිය දියුණු කිරීමත්, නවීන රොබෝ තාක්ෂණය සමඟ ඒකාබද්ධ කොට කම්කරුවෙකුගේ වැඩ කරන පැය ගණන අඩු කිරීමටත් එය යොදාගත හැකි අතර, නුදුරු අනාගතයේ දී මනුෂ්‍යයින්ට ජීවත් වීම සඳහා වැටුපක් වෙනුවෙන් රැකියා කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. එමෙන්ම යමෙකු රැකියාවක් කිරීම තෝරාගන්නේ නම් එම පුද්ගලයාට තම අභිමතය පරිදි රැකියාවක් කිරීමටද හැකියාවක් ලැබෙනු ඇත. ශ්‍රමයේ වහල්භාවය අහෝසි කිරීම පන්ති විරහිත සමාජයක් සඳහා වන ද්‍රව්‍යමය පදනම වේ. එය දැන් සම්පූර්ණයෙන්ම කිරීමට හැකියාවක් පවතියි. එය මනෝරාජික අදහසක් නොව අපගේ පාලනයේ ඇති දෙයකි. නව ලෝකයක් ඉපදීමට නියමිත අතර, එය පැරණි ලෝකයේ ගර්භාෂය තුළ නිශ්ශබ්දව නමුත් ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පවතී.එහෙත් ධනවාදය යටතේ සෑම හොඳ දෙයක්ම එහි ප්‍රතිවිරුද්ධය බවට හැරෙයි. සෑම දෙයක්ම ලාභ චේතනාවට යටත් වන ආර්ථික පද්ධතියක් තුළ, නව තාක්‍ෂණයේ සෑම ප්‍රගතියක් හරහාම, වැඩ දිනය දිගු කිරීමට හා විරැකියාවේ වැඩිවීමට සහ සූරාකෑමට හා ශ්‍රම වහල්භාවයේ වැඩි වීමකට මඟ පාදයි.අප යෝජනා කරන්නේ දැන් පවතින සුළු පිරිසකගේ ධනලෝභී කෑදරකමට සියල්ල යටත් කෙරෙන අසාධාරණ සහ අතාර්කික ක්‍රමය වෙනුවට, මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා වන නිෂ්පාදනය මත පදනම් වූ තාර්කික සහ සුසංයෝගී සැලසුම් සහගත ආර්ථිකයක් ගෙන ඒමයි.සැබෑ කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් උදෙසා!මීට දශක තුනකට පෙර, සෝවියට් සංගමය බිඳවැටුන අවස්ථාවේදී, ෆ්‍රැන්සිස් ෆුකුයාමා විසින් ඉතිහාසය අවසන් වූ බව ජයග්‍රාහී ලෙස ප්‍රකාශයට පත් කළේය. නමුත් ඉතිහාසය එතරම් පහසුවෙන් බැහැර කළ නොහැකිය. කිසිම කමකට නැති ධනේශ්වර කතුවරුන්ගේ අදහස් නොතකා එය දිගටම ගමන් කරයි. එමෙන්ම දැන් ඉතිහාසයේ රෝදය අංශක 180 කින් කරකැවී ඇත.සෝවියට් සංගමයේ බිඳවැටීම දැවැන්ත ඓතිහාසික නාටකයක් වූවාට සැක නැත. එහෙත් ඒ දෙස ආපසු හැරී බැලීමේදී, එය වඩාත් විශාල නාට්‍යයක - ධනවාදයේ මාරාන්තික අර්බුදයේ - පෙර නිමිත්තක් ලෙස සැලකීමට හැකිය.අපට කිරීමට වැදගත් කාර්යයක් ඇති අතර, එම කාර්යය දැනටමත් වැදගත් ප්‍රතිඵල ලබා දෙමින් තීරණාත්මක අවධියකට ළඟා වෙමින් පවතී. ඉහත දක්වා ඇති හේතූන් අනුව, වර්තමාන අර්බුදය ස්වභාවයෙන්ම දීර්ඝ එකක් වනු ඇත. ස්ව්‍යංබද්ධ සාධකය සපුරා නොමැතිකම හේතුවෙන් එය උස් පහත්වීම් සහිතව වසර ගණනාවක් හෝ දශක ගණනාවක් දක්වා පැවතිය හැකිය. කෙසේ වෙතත්, මෙය කාසියේ එක් පැත්තක් පමණි.අර්බුදය දිගු කලක් ඇදෙනු ඇති නමුත් එය සාමකාමී සහ සන්සුන් එකක් වනු ඇතැයි කිසිසේත් ඉන් අදහස් නොවේ. ඊට පටහැනිව, නොසන්සුන් සහ කළහකාරී එකක් වනු ඇත! නූතන ඉතිහාසයේ වඩාත්ම ව්‍යාකූල සහ කැළඹිලි සහගත කාල පරිච්ඡේදයකට අප පිවිස ඇත.අර්බුදය එක් රටකින් පසු තව තවත් රටවලට බලපානු ඇත. ඒ හා සමගාමීව කම්කරු පන්තියට බලය ලබා ගැනීමට බොහෝ අවස්ථාවන් ලැබෙනු ඇත. මෙම සෑම අවස්ථාවකම තියුණු හා අනපේක්ෂිත වෙනස්කම් ඇතිවනු නියතය. අඩුතරමින් අප බලාපොරොත්තු වන මොහොතකදී ඒවා පුපුරා යා හැකිය. අපි ඊට සූදානම් විය යුතුය.කොමියුනිස්ට්වාදයේ උත්තරීතර බව තරුණයන්ගේ පුළුල් ස්ථරයන්ට ඒත්තු ගැන්වීම තවදුරටත් අවශ්‍ය නොවේ. ඔවුන් දැනටමත් කොමියුනිස්ට්වාදීන්ය. ඔවුන් සොයන්නේ නිවැරැදි සටන්පාඨ, ප්‍රතිසංස්කරණවාදයෙන් හා බියගුලු ‘වාම’ අවස්ථාවාදයෙන් රැඩිකල් ලෙස බිඳී ගිය සංවිධානයකි.එම තරුණයන් සොයා ඔවුන්ව බඳවා ගැනීමට හැකි සෑම ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක්ම ගත යුතුය. මීට නව පක්ෂයක් සහ නව ජාත්‍යන්තරයක් ප්‍රකාශයට පත් කිරීමද ඇතුළත් වෙයි. මෙම මොහොත විසින් එය ඉල්ලා සිටියි. එය කිසිම ප්‍රමාදයකින් තොරව සිදුකළ යුතු අත්‍යවශ්‍යය හා හදිසි කාර්යයකි.අවශ්‍ය වන්නේ ලෙනින් සහ අනෙකුත් ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී ගුරුවරුන්ගේ අදහස් මත පදනම් වූ අව්‍යාජ කොමියුනිස්ට් පක්ෂයක් සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පළමු වසර පහක කාලය ආදර්ශයට ගත් විප්ලවවාදී ජාත්‍යන්තරයකි.අපට මුහුණ දීමට ඇති දැවැන්ත කාර්යභාරය සමඟ සසඳන විට අපගේ සාමාජික සංඛ්‍යාව තවමත් කුඩා වන අතර අප කිසිසේත්ම ඒ ගැන දවල් හීන දකින්නේ නැත. එහෙත් ඉතිහාසයේ සෑම විප්ලවවාදී ව්‍යාපාරයක්ම එහි ගමන්මඟ ආරම්භ කර ඇත්තේ කුඩා හා බැලු බැල්මට නොවැදගත් ව්‍යාපාර ලෙසය.අපට වැදගත් වැඩකොටසක් කිරීමට ඇත; එම වැඩකොටස දැනටමත් ඵල දරා ඇති අතර එය තීරණාත්මක අදියරකට ලඟාවෙමින් පවතියි.අපි දැන් ඉතිහාසය නම් ජලධාරාව සමඟ එකට පිහිනන නිසා අප වේගවත් වර්ධනයක් අත්කරගනිමින් පවතී සියල්ලටම වඩා, අප සතුව නිවැරදි අදහස් පවතී. ලෙනින් පැවසූ පරිදි: මාක්ස්වාදය බලවත් දර්ශනයක් වන්නේ එහි අන්තර්ගතය සත්‍ය නිසාය. මෙම කාරණය අනාගතය පිළිබඳ විශ්වාසයක් අප තුළ ඇති කරලයි.ශ්‍රේෂ්ඨ ප්‍රංශ මනෝරාජික සමාජවාදියෙකු වූ ෆූරියේ සමාජවාදය නිර්වචනය කළේ මානව වර්ගයා සතු විභවය යථාර්ථයක් කර ගැනීමේ මාර්ගය ලෙසය.කොමියුනිස්ට්වාදය යටතේ, මානව ඉතිහාසයේ පළමු වතාවට, පීඩක පංතියක් විසින් පීඩිත ජනතාවට දැකබලා ගැනීමට තහනම් කර ඇති සංස්කෘතික ලෝකය සැබවින්ම ගවේෂණය කිරීමට දොරටු විවර කරනු ඇත. ලෝකය කිසිදා අත්විඳ නොමැති අන්දමේ, සිහිනෙන්වත් නොසිතූ විපුලත්වයකට කලාව, සංගීතය සහ සංස්කෘතිය සඳහා මාර්ගය විවර වනු ඇත.ජීවිතයට සම්පූර්ණයෙන්ම නව අරුතක් ලබා දෙන නව ලෝකයක් දෙසට මඟ විවර වනු ඇත. තවද පළමු වතාවට, පරිපූර්ණ සමානාත්මතාවයේ පදනම මත ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට ඔවුන්ගේ සැබෑ තත්ත්වයට නැගී සිටීමට හැකි වනු ඇත. එය මානව වර්ගයා තම අවශ්‍යතාවන් වෙනුවෙන් ජීවත් වන මායිමේ සිට නිදහසේ ජීවත් වන බල ප්‍රදේශය දක්වා පනින පිම්මක් වනු ඇත.මරණින් මතු යහපත් ජීවිතයක් සොයමින් ජනතාවට තවදුරටත් ඉහළ වලාකුළු දෙස බලාගෙන යාඥා කිරීමට සිදු නොවනු ඇත. ඔවුන් නව ලෝකයක් අත්විඳිනු ඇත, ඔවුන්ගේ මුළු මහත් ජීවිතයම පීඩනයෙන්, සූරාකෑමෙන් සහ අයුක්තියෙන් අසාධාරණයෙන් මිදුණු එකක් වනු ඇති අතර, ඊට සම්පූර්ණයෙන්ම නව අරුතක් ලැබෙනු ඇත.අප සටන් කරන්නෙ එම අපූරු දෙය සඳහාය: මිහිමත පාරාදීසයක් ගොඩනැගීමේ කර්තව්‍යය උදෙසාය.සැබෑ කොමියුනිස්ට්වාදය කියන්නේ එයයි.සටන් කළ යුතු එකම හේතුව එයයි.අපි කොමියුනිස්ට්වාදීන් වන්නේ එබැවිනි!කිසිදු පැකිලීමකින් තොරව, අප සාර්ථක වන බවට වන ස්ථිර විශ්වාසයකින් යුතුව මෙම කාර්යභාරය වහාම ඉටු කිරීමට වග බලා ගැනීම අප සෑම කෙනෙකුගේම යුතුකම සහ වගකීම වේ.මෙම කාර්යය වහාම සිදු කිරීමට වග බලා ගැනීම අප සෑම කෙනෙකු වෙතම පැවරී ඇත.අපගේ සටන් පාඨ විය යුත්තේ: අධිරාජ්‍යවාදී මංකොල්ලකරුවන් පිටු දකිමු! ධනේශ්වර වහල්භාවය පිටු දකිමු! බැංකුකරුවන් සහ ධනපතියන්ගේ ධනස්කන්ධය අත්පත් කර ගනිමු! කොමියුනිස්ට්වාදය දිගුකල් දිනේවා! සකල ලෝවාසී කම්කරුවනි, එක්සත් වනු! නව ජාත්‍යන්තරයක් ගොඩනැගීම උදෙසා ඉදිරියට!